මහ බැංකු බැදුම්කර හොරු සහ ජනතාවට පෙනෙන තරු

Spread the love

මහබැංකු බැදුම්කර මගඩියෙහි වරද අර්ජුන ඇලෝසියස්ට හෝ අර්ජුන මහේන්ද්‍ර‍්ට පවරා ඇග බේරා නොගෙන අගමැති රනිල් වික්‍ර‍මසිංහ එම වරදෙහි වගකීම බාර ගත යුතු බව දූෂණ විරෝධී පෙරමුණෙහි සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසයි. සුමංගල හිමියන් මෙම අදහස් ප්‍ර‍කාශ කර සිටියේ පසුගියදා කොළඹ දී මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු උලපනේ සුමංගල හිමියන් කියා සිටියේ මිලියන එකොලොස් දහසකට අධික මුදලක් වංචා කරන ලද මහ බැංකු බැදුම්කර මගඩියට සම්බන්ධ පුද්ගලයන්ට වහාම නීතිමය ක්‍රියාමාර්ග ගෙන රජයට සිදුවු අලාභය අය කරගන්නා ලෙසයි.
අර්ජුන ඇලෝසියස්ට අයත් පර්පර්චුඅල් ට්‍රෙෂරිස් ආයතනයෙහි සියලු වත්කම් රාජසන්තක කිරීමට දූෂණ විරෝධී පෙරමුණ බල කර සිටින බවත් මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් කරගෙන යන පරීක්ෂණවලට සහාය දැක්වීමක් ලෙස අගමැතිවරයා රජයේ සියලු තනතුරු වලින් ඉවත් විය යුතු බව උලපනේ සුමංගල හිමියන් අවධාරණය කර සිටියහ.

එම මාධ්‍ය හමුවෙහි අදහස් දැක්වු දූෂණ විරෝධී පෙරමුණෙහි උපදේශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා කියා සිටියේ රටම ගිනි තබා ඇති මහ බැංකු බැදුම්කර වංචාවට වහාම නීතිමය පියවර ගත යුතු බවයි. පළාත් පාලන මැතිවරණයට ඇති උනන්දුව බැදුම්කර සිද්ධිය මගින් යටපත් වීම කණගාටුවට කරුණක් බව ඔහුගේ අදහස විය.

එදා මහ බැංකු අධිපතිවරයාව ආරක්ෂා කිරීමට කටයුතු කරපු පිරිස් අද මහ බැංකුවේ දූෂණයක් සිදුව ඇති බව පිලිගන්නා බවත්, ගරු රටක් සරු හෙටක් හදනවා කියලා හොරු අල්ලන්න බලයට ආපු මරු පාලකයින් ජනතාවට තරු පෙන්වා බොරු කියන බව දූෂණ විරෝධී පෙරමුණෙහි සංවිධායක තුසිත බාලසූරිය මහතා පවසා සිටියහ.

ජනතාවට තවත් බොරු කියා හොරු රකින්නට ක්‍රියා නොකොට මහ බැංකු හොරුන්ට වහාම නඩු පවරා හොරා කන ලද මුදල්, හොරා කන ලද මුදල් වලින් ගන්නා ලද ගෙවල් සහ හොරා කන ලද මුදල් වලින් ගන්නා ලද ගුවන් යානා වහාම රජයට පවරා ගන්නැයි ඔහු රජයෙන් ඉල්ලා සිටියහ.

දූෂණ විරෝධී පෙරමුණ පළාත් පාලනයට හොරු එපා යන සටන් පාඨය යටතේ ආරම්භ කළ ව්‍යාපෘතිය ගැන කරුණු පැහැදිලි කළ තුසිත බාලසූරිය මහතා කියා සිටියේ දූෂණ විරෝධී පෙරමුණ කිසිදු පක්ෂයකට ඡන්දය ලබා දෙන්න හෝ ලබා නොදෙන්න නොකියන බවත්, කවර පක්ෂකට ඡන්දය දුන්නද හොරු පරද්දන්න යැයි ඔහු අවධාරණය කළහ.

RSL

Related Posts