AM සහ RK ගේ ලිපිගොනු බැඳුම්කර කොමිසමට

Spread the love

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු= වන අර්ජුන ඇලෝසියස්‌ මහතා සහ ඔහුගේ පෞද්ගලික සහකාර ස්‌ටීව් සැමුවෙල් යන දෙදෙනා අතර හුවමාරු වූ කෙටි පණිවුඩවල ඒඑම් (AM) සහ ආර්කේ (RK) යනුවෙන් සඳහන් වූ ලිපිගොනු කොමිසමට ඉදිරිපත් කරන ලෙස ජනාධිපති බැඳුම්කර කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතා ඊයේ (11 දා) ස්‌ටීව් සැමුවෙල් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ජීවන්ත ජයතිලක මහතාට දැනුම් දුන්නේය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් ලිපි ගොනු පවත්වාගෙන ගොස්‌ ඇති ඒඑම් (AM) නාමයෙන් හැඳින්වෙන්නේ කවරෙක්‌ද යන්න සහ ආර්කේ (RK) යනුවෙන් හැඳින්වෙන්නේ කවරෙක්‌ද යන්න කොමිසමට දැන ගැනීමට අවශ්‍ය බව ද විනිසුරු ජයවර්ධන මහතා කීවේය.

මේ තොරතුරු ගැන විමසීමට ස්‌ටීව් සැමුවෙල් මහතා ඊයේ කොමිසම හමුවට කැඳවා තිබුණත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජීවන්ත ජයතිලක මහතා කොමිසමට කීවේ හදිසි අසනීප තතත්වයක්‌ හේතුවෙන් ඊයේ උදේ සැමුවෙල් මහතා රෝහල්ගත කර ඇති බැවින් ඔහු කොමිසමට නොපැමිණි බවයි.

ඒ සම්බන්ධයෙන් කොමිසමට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන බව ද නීතිඥ ජයතිලක කීවේය.

ඔහු කොමිසමට පැමිණ නැත්නම් එම ලිපිගොනු කොමිසමට ඉදිරිපත් කරන ලෙස විනිසුරු ජයවර්ධන මහතා ප්‍රකාශ කළ අතර, ඒ අවස්‌ථාවේ නීතිඥ ජීවන්ත ජයතිලක මහතා පැවසුවේ තම සේවා දායකයා සන්තකයේ එම ලිපිගොනු කිසිවක්‌ නොමැති බව තමාට දැනුම් දී ඇති බවයි.

කෙසේ නමුත් කොමිසම ඉල්ලා ඇති විස්‌තර දිවුරුම් ප්‍රකාශයක්‌ මගින් අද (12 දා) කොමිසමට ඉදිරිපත් කරන බව ද නීතිඥ ජයතිලක කොමිසමට දැනුම් දුන්නේය.

-දිවයින-

RSL

Related Posts