අජිත්ගේ 2/3 හීන බොඳ වෙයිද? අය වැය ඡන්දෙ ගැන TNA තාම තීරණයක් නෑ

Spread the love

2018 වර්ෂය සඳහා අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (16) සිදුකිරීමට නියමිතව තිබෙනවා. අයවැය ලේඛනය පසුගිය 09 වන දින මුදල් හා ජනනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව පසුගිය 10 වන දින සිට අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවති අතර අද දිනයේ හය වන දිනටත් විවාදය පැවැත්වීමට නියමිතය. විවාදයෙන් අනතුරුව පස්වරු 5.00ට ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව ඇත.

අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙට සිට දෙසැම්බර් 09 වන දින දක්වා පැවැත්වීමට නියමිත ය. මෙවර අයවැය ද තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙවර අයවැය සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

ලබන වසර සදහා ඉදිරිපත් කළ අයවැයට ඡන්දය ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව දෙමළ ජාතික සන්ධානය පැවැසීය.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා සඳහන් කළේ අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වී ඒ පිළිබඳව අවසන් තීරණයකට එළඹෙන බවයි.

මේ අතර මෙවර අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

RSL

Related Posts