බැඳුම්කරයෙන් මහජන මුදල් කොල්ල කෑ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ ගිණුම් වලට වාරණයක්!

Spread the love

බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ මුදල් වෙනත් ගිණුම්වලට මාරු කිරීම තහනම් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම සමාගමට නියෝගයක්‌ පනවා ඇත. එසේම එම සමාගමේ ගනුදෙනු සීමා කිරීමට ද මහ බැංකුව පියවර ගෙන තිබේ.

ඊයේ (25 දා) මුදල් අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව හෙළි කළේය.

මේ අනුව එම සමාගමේ මුදල් එම ගිණුමේ ම තබා ගත යුතු බව ද ඔවුන්ට මින්පසු සිදුකළ හැකි වන්නේ සීමිත ගනුදෙනු ප්‍රමාණයක්‌ පමණක්‌ බව ද ඇමැතිවරයා කීවේය.

මේ අනුව මෙම ප්‍රධාන පියවර දෙක මහ බැංකුව විසින් ගෙන ඇතැයි ද මීළඟ අදියරේදී මේ සමාගම උපයාගත් අධික ලාභ නිසා රජයට වූ අලාභය අයකර ගැනීමට ක්‍රියාමාර්ග ගන්නා බව ද මෙය පෙරළියක ඇරඹුමක්‌ බව ද මුදල් රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම බැඳුම්කර ගනුදෙනුවේදී මහ බැංකුවේ ක්‍රියාපටිපාටි උල්ලංඝනය කර ඇති බවත්, යහපත් වෙළෙඳපොළ පරිචයන් හා ආචාර ධර්ම උල්ලංඝනය කර ඇති බවත් හෙතෙම තවදුරටත් කීවේය.

මේ සමාගම 2014, 2015 සහ 2016 යන වසර තුනේදී රු. කෝටි 1106 ක අති විශාල ලාභයක්‌ උපයා ගත්ත ද සමාගම ව්‍යාපාරික කටයුතු පටන් ගෙන ඇත්තේ 2014 පෙබරවාරි 05 වැනිදා රු. මිලියන 300 කින් බව ද මුදල් රාජ්‍ය ඇමැතිවරයා තවදුරටත් කීවේය.

RSL

Related Posts