මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට අදාළ ගැටලු පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය

Spread the love

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට අදාළ ගැටලු පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.

මේ පිළිබඳ කරුණු සාකච්ඡා වූයේ එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් සහ ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනවිය, නිශාන්ත ජයවීර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, නිමල් පලිහේන, විජේසිරි බස්නායක යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් එම කාරක සභාව 2026.01.27 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්ත හා ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ   විවිධ ප්‍රජාව නියෝජනය  කරන  සංවිධාන කිහිපයක  නියෝජිතයින්  තම ක්‍ෂේත්‍රයන්හි  පවතින ගැටලු පිළිබඳව කාරක සභාව දැනුවත් කළේය. එහිදී මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට දිගුකාලීන ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීම හේතුවෙන් තම කර්මාන්තය මුහුණ දෙන අසීරුතාවයන් පෙන්වා දෙමින් ශක්තිමත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාවය ඔවුහු අවධාරණය කළේය.

එමෙන්ම අපනයනය දිරිමත් කිරීම උදෙසා පවතින නියාමනයන් ලිහිල් කිරීම, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ කාර්යභාරය නැවත සමාලෝචනය කර සකස් කිරීම, ආදායම් බදු සඳහා ආරක්ෂිත වරාය රීති හඳුන්වා දීම, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සඳහා වැට් ප්‍රතිසංස්කරණ සිදු කිරීම, අවිධිමත් ලෙස ක්‍රියාත්මක වන විදේශීය ආයතන නියාමනය කිරීම හා විදේශීය ආයෝජකයින් දිරිමත් කිරීම ඔස්සේ තම කර්මාන්තය නගා සිටුවීමට හැකි බව ඔවුහු පෙන්වා දුන්හ. තවද මැණික් පතල් හැරීමේදී ස්කෑන් යන්ත්‍ර භාවිතය ඉඩ නොදීම සහ පවතින පතල් ඉඩම් අඩු වෙමින් යාමේ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ද එම කර්මාන්තකරුවෝ කාරක සභාවේ අවධානය යොමු කළහ.

අවසානයේදී කාරක සභාවේ සභාපතිවරයා අදහස් දක්වමින් ලිහිල්කරණය (බදු හා භෞතික), පරිපාලනය සහ පතල් කැණීම් ප්‍රශ්නවලට අදාළ ප්‍රතිපත්ති කරුණු යන ප්‍රධාන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් කර්මාන්තය තුළ ගැටලු හඳුනාගත හැකි වූ බව ප්‍රකාශ කරන ලදී. ඒ අනුව, එකී කරුණු සමස්තයක් ලෙස ඒකාබද්ධ කරමින් සවිස්තරාත්මක සාකච්ඡා ලේඛනයක් සකස් කර, අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ඵලදායී සාකච්ඡා මාලාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා අවධාරණය කළේය.

Tags: