මෙන්ඩිස් – වෙල්ලාලගේ – ලියනගේ ශ්‍රී ලංකාවට ජය ගෙනෙති

Spread the love

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 272 ක ඉලක්කය හඹා ගිය එංගලන්ත කණ්ඩායමේ ජෝ රූට් සහ බෙන් ඩකට් දෙදෙනාම ලකුණු 60 ඉක්මවා ලබා ගනිමින් හොඳ ස්ථාවරත්වයක් ලබා දුන්නද 28 වැනි පන්දුවාරයේදී යළි තරගයට පිළිපන් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ 40 වැනි පන්දුවාරය තෙක් වූ කාල සීමාවේදී කඩුලු 5 ක් දවා ගැනීමට සමත්වීම නිසා සත්කාරක ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 19 ක පරාජයකට ඊයේ (22 දා) රාත්‍රියේදී මුහුණ දුන්නේය. ඒ සමඟම තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද සත්කාරක කණ්ඩායම සමත්වූවේය.

ලකුණු 272ක ඉලක්කය හඹා යෑමේදී පළමු කඩුල්ල වශයෙන් සැක් ක්‍රෝලි ලකුණු 06 කට දැවී ගියද පිටියට පිවිසි බෙන් ඩක් පන්දු 76 කදී ලකුණු 62 ක්ද ජෝ රූට් පන්දු 90 කදී ලකුණු 61 ක් ද ලබා ගත් නමුත්, ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ පාලනය කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස සමස්ථ එංගලන්ත ඉනිමේම පන්දුවාරයකට වූ වේගය ලකුනු 05 කට පහලින් පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. එහි සාර්ථක වූයේ තරගය අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉදිරියෙන් එංගලන්ත ඉනිම ලකුණු 19 ක අඩුවෙන් නතර වීමයි.

රාත්‍රී කාලයේදී තණතීරුවේ පන්දුව වඩාත් මන්දගාමී වූ අතර එහි වාසිය උපරිමයෙන් උකහා ගත් දුනිත් වෙල්ලාලගේ සහ ජෙෆරි වැන්ඩර්සි, චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා එංගලන්ත ඉනිමේ දැවී ගිය කඩුලු 10 න් 6 කට හිමිකම් කීය. ඒ අතරින් වෙල්ලාලගේ සහ වැන්ඩර්සි කඩුලු 2 බැගින් දවාලූහ.

විශ්වාසනීය ශ්‍රී ලංකා පන්දු යැවීම හමුවේ එංගලන්ත කණ්ඩායමට අවසන් පන්දුවාරයේදී ලකුණු 20 ක් ලබා ගැනීමේ අභියෝගය හිමි වුවත්, දෙවැනි පන්දුවේදී ඔවුන්ගේ ඉනිම ලකුණු 252 දී නිමාවට පත්විය. ඒ සමගම ඉනිමේ වැඩිම කඩුලු ලාභියා වූ ප්‍ර මෝද් මදුෂාන් ලකුණු 39 කට කඩුලු 3 ක් දවාගෙන සිටියේය.

කුසල් මෙන්ඩිස්ගේ නොදැවී රැස් කරන ලද ලකුණු 93 ක ඉවසිලිවන්ත ඉනිමත් හා ජනිත් ලියනගේ සමග 5 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නගන ලද ලකුණු 88 ක සම්බන්ධතාවත් මත නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 6 ක් දැවී ලකුණු 271 ක් රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ.

ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිස්සංක හා කමිල් මිශාර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 50 ක සම්බන්ධතාවක් ගොඩ නගා ගත්තද සෑම් කරන්ටම සුවිශේෂී වූ මන්දගාමී පන්දුවක් හමුවේ පැතුම් ගේ ඉනිම ලකුණු 21 කදී නිමාවට පත්විය. ඉන් ටික වේලාවකට පසු මිශාරද ලකුණු 27 ක් ලබා සිටියදී අදිල් රශීඩ්ගේ පන්දුවකට කඩුල්ල බිඳ වැටීම නිසා පිටියෙන් ඉවත් විය.

ඉනිමේ 11වැනි ඕවරයේ පිටියට පැමිණි කුසල් මෙන්ඩිස් පළමු ලකුණු ලබා ගැනීම සඳහා පන්දු 13 ක් වැය කළද පසුව ඔහු හරි රිද්මයට පැමිණියේය. ඔහුටම සුවිශේෂී වූ පසුපස පාදයේ පහරවල් ඒල්ල කරමින් බැක්වර්ඩ් පොයින් කළාපය හරහා ඒංගලන්ත දඟ පන්දු යවන්නන්ට පහර ඒල්ල කරමින් ලකුණු රැස් කිරීම දැකුම් කළු විය. බලාපොරොත්තු තබා තිබූ පිතිකරුවන් වන නායක චරිත් අසලංක සහ 2023 වසරෙන් පසු පළමු වතාවට ඒක්දින තරගයකට ක්‍රීඩා කළ ධනංජය ද සිල්වාටද වැඩි ලකුණු සංඛ්‍යාවන් කරා යෑමේ අවස්ථාව අහිමි වූයෙන් ශ්‍රී ලංකා ඉනිම 27 වැනි පන්දුවාරයේදී කියැවුණේ කඩුලු 4 කට ලකුණු 124 ක් වශයෙනි.

රෙහාන් අහමඩ්ට එරෙහිව පිට පිට හතරේ පහර 2 ක් ඒල්ල කළ කුසල් මෙන්ඩිස් සිය 35 වැනි ඒක්දින අර්ධ ශතකය සම්පූර්ණ කර ගත්තේය. ඒ් වන විටත් ඔහු සමග කඩුල්ලේ රැඳී සිටි ජනිත් ලියනගේ ලකුණු 200 සීමාවෙන් ඔබ්බට ශ්‍රී ලංකා ලකුණු පුවරුව රැගෙන ගියේ සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීම සඳහා සාර්ථක අඩිතාලම ඒක් කරමිනි.

ලකුණු කරා යනවාට වඩා කඩුල්ල ආරක්ෂා කර ගැනීම වැදගත් බව සිතා පන්දුවට පහර දුන් කුසල් ලකුණු 36 ක් ලබා සිටින විට ඔහුට වඩා වේගයෙන් ලකුණු රැස් කළ ජනිත් ලියනගේ දැවී ගියේ ‌මෙන්ඩිස්ට වඩා ලකුණු 10 ක් වැඩියෙන් ලබා සිටියදීය. අදිල් රශීඩ් ඒවන ලද පන්දුවකට පෙරළා උඩ පන්දුවක් ලබා දීම නිසා අර්ධ ශතකයට ලකුණු 4 ක් ලබාගැනීමට ඉතිරිව තිබියදී ලියනගේට පිටියෙන් ඉවත්වීමට සිදුවූයේ පන්දු 53 කට මුහුණ දීමෙන් අනතුරුවය.

තමන් සතු හැකියාව පෙන්වීම සඳහා පන්දුවාර 7 ක් ඉතිරිව තිබියදී පවන් රත්නායක පිටියට පිවිසියද ඔහුද රැස් කර ගත හැකි වූයේ ලකුණු 12 ක් පමණි. කෙසේ වෙතත් පවන්ගේ දැවී යෑමෙන් පසු 48 වැනි පන්දුවාරයේදී පිටියට පිවිසි දුනිත් වෙල්ලාලගේ අවසන් පන්දුවාරය වන ලද ජෙමී ඒවර්ටන්ට හයේ පහරක් සහ හතරෙ පහර 3 කින්ද සංග්‍රහ කරමින් තමන් ක්‍රීඩා කරන ලද පන්දු 12 දී ලකුණු 25 ක් රැස් කරමින් ශ්‍රී ලංකාව ලකුණු 270 සීමාවෙන් ඔබ්බට රැගෙන යෑමට මුල් වූවේය. පන්දුවට පහරදීමට අමතරව පන්දු රැකීමේදී විශිෂ්ඨ උඩ පන්දු දෙකක් සහ කඩුලු 2 ක් දවා ගැනීමට සමත්වූ නිසා තරගයේ වීරයා ලෙසින් වෙල්ලාලගේව නම් කරන ලදී.

ඉනිම අවසන් වන විටත් තම ඉනිම නොබිඳිව තබා ගත් කුසල් මෙන්ඩිස් පන්දු 117 කට මුහුණ දී හතරේ පහර 11 ක් ද සමගින් නොදැවී ලකුණු 93 ක් රැස් කරගෙන සිටියේය. මැණික් කටුව උපයෝගී කර ගනිමින් පන්දු යවන්නන්ට ශ්‍රී ලංකා පිතිකරුවන් දක්වනු ලබන දුර්වල විලාශය ප්‍රයෝජනයට ගත් අදිල් රශීඩ් තම පන්දු වාර 10 ඇතුළතදී ලකුණු 44 කට කඩුලු 3 ක් දවා ගනිද්දී, සෑම් කරන්, ලියම් ඩෝසන් සහ රෙහාන් අහමඩ් කඩුල්ල බැගින් බිඳ හෙළූහ.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළේ තමන් සතු හොඳම දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංගව ද විවේක ගන්වමිනි. තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස දුනිත් වෙල්ලාලාගේව කැඳවද්දී වේග පන්දු යැවීමේ අංශයේ වගකීම අසිත ප්‍රනාන්දු මත පැටවී තිබිණ. ඊට අමතරව ඒක්දින කණ්ඩායමේ රැදී සිටි සදීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, මහීෂ් තීක්ෂණ සහ ඒෂාන් මාලිංග වද මෙම තරගයේදී විවේක ගන්වා තිබීම කැපී පෙනෙන සිදුවීමක් විය.

එංගලන්ත කණ්ඩායම සඳහා 2023 වසරෙන් පසු සෑක් ක්‍රෝලිව කැඳවා තිබූ අතර අසනීප ව සිටින විල් ජැක්ස් වෙනුවට රෙහාන් අහමඩ්ව අද තරගයේදී ඒංගලන්තය වෙනුවෙන් පිටියට පිවිසියේය.

ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසනදී කඩුලු 6 ක් දැවී ලකුණු 271 යි – (කුසල් මෙන්ඩිස් 93*, පැතුම් නිස්සංක 21, කමිල් මිශාර 27, ධනංජය ද සිල්වා 10, චරිත් අසලංක 17, ජනිත් ලියනගේ 46, පවන් රත්නායක 12, දුනිත් වෙල්ලාලගේ 25*, අදිල් රශීඩ් 44/3, සෑම් කරන් 40/1, ලියම් ඩෝසන් 31/1, රෙහාන් අහමඩ් 61/1)

එංගලන්තය පන්දුවාර 49.2 කදී සියලු දෙනා දැවී ලකුණු 252 යි – (සැක් ක්‍රෝලි 06, බෙන ඩකට් 62, ජෝ රූට් 61, ජෙකොබ් බෙතල් 15, හැරී බෘෘක් 06, ජොස් බට්ලර් 19, සෑම් කරන් 05, රෙහාන් අහමඩ් 27, ජෙමී ඔවර්ටන් 34, ලියම් ඩෝසන් 02, අදිල් රශීඩ් 00*, ප්‍ර මෝද් මදුෂාන් 39/3, දුනිත් වෙල්ලාලගේ 41/2, ජෙෆරි වැන්ඩර්සි 39/2, චරිත් අසලංක 33/1, ධනංජය ද සිල්වා 22/1, අසිත ප්‍රනාන්දු 64/1)

උපුටා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවිය

Tags: