විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ ජාතික ව්‍යාපාරය ශක්තිමත්ව ඉදිරියට ක්‍රියාත්මක කරනවා
- Editor
- January 16, 2026
- පුවත් සහ වාර්තා
- news
- 0 Comments
ජනපති ‘රටම එකට’ උතුරු පළාත් වැඩසටහනේදී ජනතාවට කියයි
එදා යුද්ධය හේතුවෙන් තම දරුවන් කෙරෙහි බියෙන් ජීවත් වූ උතුරේ මව් පියවරුන්ට අද මත්ද්‍රව්‍ය නිසා දරුවන් කෙරෙහි බියෙන් ජීවත් වීමට සිදුව ඇති බවත්, කිසිදු පුරවැසියෙක්, නගරයක්, ගමක්, දුප්පත්, පොහොසත්, සිංහල, දෙමළ යන භේදයකින් තොරව පැතිර යන මෙම විෂ මත්ද්‍රව්‍ය උවදුරින් තරුණ පුරපුර බේරා ගැනීම වෙනුවෙන් ආරම්භ කළ විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ ජාතික ව්‍යාපාරය ශක්තිමත්ව ඉදිරියට ක්‍රියාත්මක කරන බවත්, එය කිසිසේත් ආපසු හරවන ව්‍යායාමයක් නොවන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. එමෙන්ම සමාජයක් ලෙස සිය වගකීම ඉටු කරමින් මහා ආරක්ෂක වළල්ලක් ලෙස එක්ව ඒ වෙනුවෙන් කැප වන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී ජනතාවට ආරාධනා කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (16) පස්වරුවේ යාපනය තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ පැවති විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහනට එක්වෙමිනි.
වැටලීම් වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් ලබා දුන් උතුරු පළාතේ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් වෙනුවෙන් තිළිණ ප්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ රටම එකට ජාතික වැඩසටහන මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ වැඩසටහනක් පමණක් නොව, ඊට ගොදුරු වූ දරුවන් පුනරුත්ථාපනය කර හොඳ වෘත්තීය පුහුණුවක් ලබා දී ගමට, රටට වැඩදායී පුරවැසියෙක් බවට පත් කරන ජාතික වැඩසටහනක් බවයි.
අද දකුණේ මෙන්ම උතුරේ ජනතාවටද එක ලෙස පිළිගත හැකි විශ්වාසනීය ආණ්ඩුවක් පළමු වතාවට රට තුළ ගොඩනැගී තිබෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා බලය අහිමි වී තිබෙන ජාතිවාදී කණ්ඩායම් කුඩා, කුඩා තැන්වල යළි ජාතිවාදය ඇවිළවීමේ උත්සාහයක නිරත වුවද, කිසිදු ජාතිවාදී ප්‍රවණතාවකට යළි රට තුළ හිස එසවීමට ඉඩ නොදෙන බවද අවධාරණය කළේය.
එමෙන්ම උතුරු පළාතේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය වෙනුවෙන් පසුගිය වසරේ රුපියල් මිලියන 5,000ක් වෙන් කළ බවත්, මේ වසරේද විශාල මුදලක් වෙන් කර තිබෙන බවත් පැවසූ ජනාධිපතිවරයා එම මුදල් නිසි ලෙස භාවිත කරමින් ජනතාවට එම සංවර්ධන ප්‍රතිලාභ හිමි කර දීමට මැදිහත්වන ලෙසද දේශපාලන අධිකාරියෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

