සනත් ජයසූරිය ඕවල් ටෙස්ට් ජයග්‍රහණ ගැන මතකය අවධි කරයි

Spread the love

සනත් ජයසූරිය ඕවල් ක්‍රීඩාංගණයේදී එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ ටෙස්ට් ජයග්‍රහණ දෙකේම කොටස්කරුවෙකි. ඔහු 1998 දී තම කණ්ඩායමේ ජයග්‍රහණයේදී ද්විත්ව ශතකයක් ලබා ගත් අතර 2024 දී ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු විය.

හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය 1998 දී සහ 2024 දී ඕවල් පිටියේදී ශ්‍රී ලංකාව ලැබූ ඓතිහාසික ජයග්‍රහණවල කොටස්කරුවෙකි. 1998 එම තරගයේදී ඔහු පළමු ඉනිමේදී ද්විත්ව ශතකයක් සහ දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 24ක් රැස්කරමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. ඇලෙක් ස්ටුවර්ට්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු දහයක සංවේදී ජයග්‍රහණයක් ලබා ගැනීමට එදා ජයසූරිය ලබා දුන් දායකත්වය ප්‍රධාන සාධකයක් විය. වර්තමානයේ ඔහු එංගලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 8ක ජයග්‍රහණයක් ලැබූ කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු විය.

එම ජයග්‍රහණ දෙකම ගැන සිය මතකය අවධි කළ හිටපු ආරම්භක පිතිකරු ජයසූරිය මෙසේ පැවසුවේය, “අවුරුදු 27කට විතර කලින් අපි අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ ඕවල් පිටියේදී පළමු ජයග්‍රහණය වාර්තා කළා. මුරලි (මුත්තයියා මුරලිදරන්) කඩුලු 16ක් විතර ගත්තා. මට ද්විත්ව ශතකයක්, අරවින්ද [ද සිල්වා] 150ක් ගත්තා. ඕවල් පිටිය අපිට කවදාවත් අමතක නොවන තැනක්. නමුත් අද අපේ අය ක්‍රීඩා කළේ සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්‍වයෙන්. එය දැඩි තත්ත්‍වයක්, තණකොළ, කාලගුණය සහ හැම දෙයක්ම වළාකුළු පිරි සීතලයි. සියලුම ගෞරවය මේ කොල්ලන්ටයි. පන්දු රකින්නන් හොඳින් පන්දු රැකීමත්, පිතිකරුවන් දෙවැනි ඉනිමේ වගකීමත් ගත්තා.” ජයසූරිය විස්තර කළේය.

අසිත ප්‍රනාන්දු, මිලාන් රත්නායක, විශ්ව ප්‍රනාන්දු සහ ළහිරු කුමාර වැනි ක්‍රීඩකයන්ගෙන් සමන්විත වූ සිවුකොන් වේග ප්‍රහාරයක් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළේය. ඔවුන් එංගලන්ත දෙවැනි ඉනිමේ දැවැන්ත කඩා වැටීමකට ලක් කරමින් කණ්ඩායමේ ජයග්‍රහණයට විශාල දායකත්වයක් ලබා දුන්නේය. ජයසූරිය වේගපන්දු යවන්නන්ට ප්‍රශංසා කළේය.

“අපි වේගපන්දු යවන්නන් හතර දෙනෙකු සමඟ ගිය පළමු අවස්ථාව මෙයයි. ඔවුන් සියල්ලන්ම ඔවුන්ගේ උත්සාහයෙන් 100%ක්ම ප්‍ර යෝජන ගත්තා. ඔවුන් ගැන කතා කිරීම සතුටක්. අපේ දෙවැනි ඉනිමේ පන්දු යැවීම කැපී පෙනෙන එකක් වුණා. එංගලන්ත කණ්ඩායම සැලැස්මට අනුව ක්‍රීඩා කළ  නමුත් ඕවර 35 ට අඩුවෙන් ඔවුන්ව දැවී ගියා. ඔවුන්ට ලබාගන්න පුළුවන් වුණේ ලකුණු 150ක් පමණයි. ළහිරු කුමාර මැදට ගෙනා ආකල්පය තමයි මම බලාපොරොත්තු වුණේ – මට ඕන වුණේ ඒක පුළුවන් තරම් මැදදී පෙන්වන්නයි. එහෙම තමයි අපි ක්‍රිකට් ගහන්න ඕන. ඔහු විශිෂ්ට ලයින් ඇන්ඩ් ලෙංග්ට් එකකින් පන්දු යැව්වා“

“අසිත ප්‍රනාන්දු මෙම තරඟාවලිය පුරාවටම කැපී පෙනුණා. රත්නායක නවක ක්‍රීඩකයෙකු ලෙස ඇත්තෙන්ම දක්ෂයි. ඔහු ඉතා හොඳින් පන්දු යැව්වා. විශ්ව ප්‍රනාන්දු, ඔහු දෙවැනි ඉනිමේ පන්දු යවපු ආකාරය තමයි අපට අවශ්‍ය වුණේ,” ජයසූරිය වැඩි දුරටත් පැවසීය.

පැතුම් නිශ්ශංක පන්දු 124කදී ලකුණු 127ක් රැස්කරමින් ලකුණු 233ක ඉලක්කයක් කරා ශ්‍රී ලංකාව රැගෙන ගියේය. “ආබාධ හේතුවෙන් පැතුම්ට වසර කිහිපයක් ටෙස්ට් ක්‍රීඩා කිරීමට නොහැකි වුණා. නමුත් ඔහු විස්සයි 20 සහ එක්දින තරඟවලදී හොඳින් දස්කම් දක්වනවා. ඔහු මෙහි ඔහුගේ ස්වභාවික ක්‍රීඩාව ක්‍රීඩා කළා. ඔහු එය කරනවා දැකීමට මම කැමතියි. පැතුම් එසේ ක්‍රීඩා කරන විට ස්ට්‍රයිකර් නොවන ක්‍රීඩකයින්ට පවා ඔවුන්ගේ ස්වාභාවික ක්‍රීඩාව කළ හැකියි“ ඔහු වැඩිදුරටත් පැවසීය.

Related Posts