ආරෝපිත කුලී ආදායම් බද්ධ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් පැහැදිලි කිරීමක් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. ඊට අදාළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත පළ වේ.
මාධ්‍ය නිවේදනය
ආරෝපිත කුලී ආදායම් බද්ද සම්බන්ධයෙන් පැහැදිලි කිරීම
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගිතාව සහිතව ක්‍රියාත්මක වන විස්තීර්ණ මූල්‍ය පහසුකම් වැඩසටහන සම්බන්ධව මෑත දී ප්‍රකාශයට පත්කළ ලියවිල්ලෙහි ආරෝපිත කුලී ආදායම් බද්ද ලෙස ක්‍රියාත්මක වීමට නියමිත, යෝජිත දේපළ බද්ද පිළිබඳව දක්වා ඇත. මේ පිළිබඳව පැතිර යන ඇතැම් දුර්මත සහ වැරදි වැටහීම් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම මෙම මාධ්‍ය නිවේදනයේ අරමුණ වේ.
ශ්‍රී ලංකාව මුහුණ පෑ ගැඹුරු, සංකීර්ණ සහ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයට බලපෑ ප්‍රධාන හේතුවක් වන්නේ ඉහල අයවැය හිඟය සහ ඒ හේතුවෙන් රාජ්‍ය ණය තිරසාර නොවන මට්ටමකට ඉහළ යාමට තුඩුදුන්, රාජ්‍ය ආදායමේ තීව්‍ර පහළ යාමයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම, 2022 වර්ෂයේදී වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3%ක් වූ අවම මට්ටමේ සිට 2025 වසර වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක් දක්වා ඉහලට ගෙන ඒමේ වෑයමේ දී පසුගිය වසර දෙකක කාලය තුළ ආදායම මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය ශක්තිමත් කිරීම ක්‍රියාත්මක කරන ලදී. 2023 වර්ෂයේ බදු ප්‍රතිසංස්කරණ තුළින් අනුක්‍රමික සංස්ථාපිත සහ පුද්ගල ආදායම් බදු කෙරෙහි අවධානය යොමු විය. 2024 වර්ෂයේ ආදායම ඉහළ නැංවීම බහුතරයක් බදු නිදහස් කිරීම් ඉවත් කිරීම සහ අනුපාත වෙනස් කිරීම ඇතුළු එකතු කළ අගය මත බදු ප්‍රතිසංස්කරණ තුළින් සිදු කරන ලදී.
මෙතෙක් දුරට, 2023 වර්ෂය සඳහා වූ ආදායම් ඉලක්ක බොහෝ දුරට ලඟා කරගෙන ඇති අතර 2024 වර්ෂය සඳහා ඉලක්කගත දළ දේශීය නිෂ්පාදිතයෙන් 13.5%ක් වූ ආදායම් මට්ටමට වසර අවසානය වන විට ළඟා වීම සඳහා වන මාර්ගයට පිළිපන්ව ඇත. එබැවින් 2025 වර්ෂයේ ඉලක්කගත, දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක් වන ආදායම් ඉලක්කය කරා ළඟා වීමට දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.5%ක ආදායමක් ලබා ගැනීමට තවදුරටත් ඉතිරිව ඇත. 2025 වර්ෂයේ ආදායම් ඉලක්කය ළඟා කර ගැනීමට උපකාරී වන ප්‍රධාන ආදායම් ක්‍රම වේදය වන්නේ දේපළ මත පදනම් වන ධන බද්දකි. 2023 මාර්තු මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහන ආරම්භයේදීම 2023, 2024 සහ 2025 යන වර්ෂවල ආදායම් රැස්කිරීමේ ක්‍රමවේදයන් මහජනතාවට පැහැදිලි ලෙස ඉදිරිපත් කර ඇත.
යෝජිත දේපල බද්ද පැනවීමේ කටයුතු පිලිබදව සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන තිබුනද අනුපාත සහ සීමාවන් වලට අදාළ විශේෂිත තොරතුරු සදහන් කිරීම සඳහා තවත් කල්ගත වනු ඇත. කෙසේ වෙතත්, මෙම බද්ද තුළින් අවධානය යොමු කර ඇත්තේ සාමාන්‍ය ආදායම් ලබන්නන් කෙරෙහි නොව, ඉහල වත්කම් සහිත පුද්ගලයන් කෙරෙහි වේ. ඉහළ වටිනාකම් සහිත දේපළ හෝ සමාජයේ ධනවත් පුද්ගලයින්ට අයත් දේපළ මත බද්ද අයවන බවට තහවුරු වෙන පරිදි සුදුසු බදු නිදහස් සීමාවන් පැනවීම තුලින් මෙම අරමුණු සාක්ෂාත් කරගැනීමට අපේක්ෂා කෙරේ. 2025 වර්ෂය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.2% ක සහ 2026 සමස්ත වර්ෂය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.4%ක ආදායමක් මෙම බද්ද තුළින් අපේක්ෂා කිරීම යන කරුණ මෙම විශේෂිත ඉලක්කයන් සඳහා සාක්ෂි දරයි.
ද්විත්ව බදුකරණය සහ ආර්ථික සහන විතැන් කරවන යම් අංග වැළැක්වීමට ප්‍රමාණවත් හිලව් කිරීමේ යාන්ත්‍රණ සහතික කෙරෙන ආකාරයට බද්ද සඳහා ප්‍රතිපාදන සැලසෙනු ඇත. ඉහළ කාර්යක්ෂමතාවයක් පැවතීම, ප්‍රගතිශීලීභාවය සහ පොදු සේවාවන් සඳහා මූල්‍යනය කිරීමට ආදායම් උත්පාදනය කිරීමේ විකෘතිතාවන් ඇති නොවන ලෙස සැලකීම හේතුවෙන් බොහොමයක් රටවල (ඉන්දියාව වැනි සංර්වධනය වෙමින් පවතින රටවල් ද ඇතුළුව) දේපළ බදු ක්‍රියාත්මක වේ.
මෙම බද්ද පැනවීමට අදාල ව්‍යවස්ථා සංශෝධන සිදුකිරීම සඳහා අවශ්‍ය නෛතික ක්‍රියාදාමය සම්පූර්ණ කළ යුතු අතර එය 2025 වසරේ අප්‍රේල් මස සිට බලාත්මක වනු ඇත. නෛතික ක්‍රියාදාමය සම්පූර්ණ කිරීමට අමතරව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනේ ලේඛන ප්‍රකාශයට පත් කිරීමත් සමග 2023 මාර්තු මාසයේදී මුල් වරට දැනුම් දුන් පරිදි තක්සේරු කිරීමේ යාන්ත්‍රණ සහ මෙම යෝජිත බදු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දත්ත පදනම වැඩිදියුණු කිරීම සඳහා සැලකිය යුතු පරිපාලනමය ක්‍රියාකාරකම් රැසක් සිදු කළ යුතුව ඇත.
ඇත්ත වශයෙන්ම, මෙය අලුත් බඳු ක්‍රම වේදයක් නොවේ. ” ශුද්ධ වාර්ෂික වටිනාකම” ලෙස හැඳින් වූ මීට සමාන ආරෝපිත ආදායම් ගණනය කිරීමේ ක්‍රම වේදයක් 2006 අංක 10 දරණ දේශීය ආදායම් පනතේ ද ඇතුළත් විය. ශ්‍රී ලංකාවේ දේපළ, පළාත් පාලන ආයතන විසින් අය කරන වරිපනම් බදු මෙන්ම මුද්දර බදු වැනි පවතින බදු වලටද යටත් වේ. එබැවින් දේපළ බදු සම්බන්ධයෙන් සැලකිය යුතු පූර්වාදර්ශයන් දැනටමත් පවතින බව දැක්විය හැක.
රාජ්‍ය ආදායමේ අඛණ්ඩ වර්ධනය සහ ඊට අනුබද්ධ අයවැය හිඟය අඩු වීම ආර්ථික ස්ථායීතාව ප්‍රතිෂ්ඨාපනය කිරීමේ රජයේ වෑයමට සහාය වී ඇති අතර එය පොලී අනුපාත පහළට ගෙන ඒම සහ විනිමය අනුපාතය අතිප්‍රමාණය වීම යනාදියට හේතුවීම මගින් සියලු පුරවැසියන්ට සැලකිය යුතු ප්‍රතිලාභ ගෙන ඒමටද සහාය වී ඇත. රාජ්‍ය වියදම් මූල්‍යනය කිරීමට හැකිවන ලෙස අවශ්‍ය කරන මට්ටමට රාජ්‍ය ආදායම ළඟා කර ගැනීමට අපොහොසත් වීම සමස්ත රටටම විනාශකාරී බලපෑමක් ඇති කළ ආර්ථික අර්බුදය නැවත ඇතිවීමට හේතුකාරක වනු ඇත.