ගාල්ලේ එන්නත් ලබා දුන් පුද්ගලයින්ගේ නාම ලේඛනය අධිකරණයෙන් ඉල්ලයි
- Editor
- June 14, 2021
- පුවත් සහ වාර්තා, විමර්ශන
- featured
- 0 Comments
පසුගිය 07 වැනිදා ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේදී පැවැති කොවිඩ් එන්නත්කරණ වැඩසටහනේදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාගත් පුද්ගලයින්ගේ නාම ලේඛණය ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය ලබා දෙන ලෙස අද (14) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා විසින් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයට නියෝග කළේය.
ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ නියෝග ලබාදුන්නේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් පසුවය.
ඒ අනුව පසුගිය 5 වැනිදා සහ 7 වැනිදා අදාළ කාර්යාලයෙන් එන්නත් ලබාගත් පුද්ගලයින්ගේ නාම ලේඛනයක්, එන්නත් ලබාදුන් කාර්යාලයේ සී.සී.ටී.වී. දර්ශන සහ විමර්ශනයට අදාළව දුරකථන දත්ත ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලබාදිය යුතුය.
මේ අතර එන්නත්කරණ සිද්ධියට අදාළ දින දෙක තුළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුවේ සී.සී.ටී.වී දර්ශන හෙට (15) ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබීමට නියමිතව ඇති බව ද වාර්තාවේ. මෙම දර්ශන නිරීක්ෂණය මගින් සංචරණ සීමා පවතින කාලය තුළ බස්නාහිර පළාතේ සිට ගාල්ලට පැමිණි මෝටර් රථ පිළිබඳ සොයා බැලීම අපේක්ෂිතය.
රටම කැළඹීමට පත් කළ මෙම සිදුවීමට අදාළ ගවේෂණාත්මක වාර්තාකරණය සිදුකරනු ලැබුවේ ‘අද දෙරණ උකුස්සා” වැඩසටහන මගින් බව විශේෂයෙන් සදහන් කළ යුතුය.

