තිරිඟු පිටි මිල වැඩි කළ බවට පලවන වාර්තා අසත්‍ය බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතියකින් තොරව තිරිඟු පිටි මිල වැඩි කළ නොහැකි බව ය.
ඔහු ඒ බව සඳහන් කළ තිබුණේ සිය ට්විටර් පිටුවේ සටහනක් තබමිනි. මෙය නීති විරෝධී ක්‍රියාවක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා සඳහන් කළේ, රුපියල් 8.50කින් තිරිඟු පිටි මිල වැඩි කරන බවට සමාජය තුළ අසත්‍ය ප්‍රචාරයක් පැතිරී යන බව ය.
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ, අද උදෑසන තිරිඟු පිටි මිල ඉහළ ගොස් ඇති බවට පළ වූ වාර්තා පදනම් කරගනිමින් තම සමාගම ද අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල ඉහළ දැමිය යුතුය යන තීරණයට එළැඹි බවයි.
එහෙත් දහවල් වනවිට ප්‍රීමා සමාගම තිරිඟු පිටි ඉහළ නොදමන බවට ප්‍රකාශ කිරීමත් සමග බේකරි හිමියන්ගේ සංගමය පාන් මිල ඉහළ දැමීමේ තීරණයෙන් ඉවත් වී තිබේ.
එන්.කේ ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ තිරිඟු පිටි මිල වැඩි කිරීමට ප්‍රීමා සමාගම ගත් තීරණය රජය අපහසුතාවට පත් කරන තීරණයක් විය හැකි බවයි.
මේ අතර පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පැවසුවේ, පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතියකින් තොරව තිරිඟු පිටි පාලන මිල වෙනස් කිරීමට කිසිදු සමාගමකට හැකියාවත් නොමැති බවයි.
තිරිඟු පිටි වැඩි මිලට අලෙවි කරන තොග හා සිල්ලර වෙළෙන්දන් වේ නම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ ය.
ඒ අනුව කිසිසේත්ම පාන් පිටි හෝ බේකරි නිෂ්පාදනවල පෙර පැවති මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවත් යම් හෙයකින් වැඩි මිලට එම නිෂ්පාදන අලෙවි කරන වෙළෙඳුන් වේ නම්, ඔවුන් පිළිබඳව පාරිභෝගික අධිකාරිය දැනුවත් කරන ලෙස ද රාජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.