ජනාධිපති සිහින අපේක්ෂක කුණු කන්ටේනර් ගෙන්වා ඇත්තේ පරිසර අධිකාරියේ අනුමැතියකින් තොරව බවට හෙළිවෙයි

Spread the love

දැනට රට තුළ ඉමහත් ආන්දෝලනයට තුඩුදී තිබෙන ජනාධිපතිවරයෙකු වීමට සිහින දකින කුප්‍රකට ව්‍යාපාරිකයෙකු අපද්‍රව්‍ය අඩංගු බහලූම් මෙරටට ගෙන්වා ඇත්තේ බාසල් සම්මුතියට පටහැනිව සහ මධ්‍යම පරිසර අධිකාරියේ පූර්ව අනුමැතියකින් තොරව බව ශ‍්‍රී ලංකා රේගුව විසින් සිදු කරන ලද පරීක්ෂණයකින් හෙළි වී ඇත.

මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් කරන ලද නියෝගයක් අනුව මේ පරීක්ෂණය සිදු කර තිබේ. මේ අනුව ගෙන්වා ඇත්තේ මිශ‍්‍ර අපද්‍රව්‍ය බවත් 2017.09.27 වැනිදා සිට 2018.03.02 වැනිදා දක්වා කාලය තුළ මෙවැනි බහලූම් 241 ක් මෙරටට ගෙන්වා ඇති බවත් එම රේගු පරීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.

මේවායින් බහලූම් 111 ක් දැනට වරායේ රඳවා ඇති අතර අනෙක් බහලූම් 130 වරායෙන් නිදහස් කරගෙන ගොස් තිබේ.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය වෙත 2019 මැයි 21 වැනිදා ලැබුණු තොරතුරකට අනුව මෙම නිදහස් නොකළ අපද්‍රව්‍ය අඩංගු බහලූම්වලින් 65 ක් සී.අයි.සී.ටී අංගණය වෙත ගොඩ බා තිබේ. මේ අනුව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් කරන ලද නියෝගයක් අනුව රේගුවේ සමාජ ආරක්ෂණ අංශයේ නිලධාරීන් විසින් මේ බහලූම් ගැන ඉකුත් මැයි 24 වැනිදා පරීක්ෂණයක් කර තිබේ.

දැනට වරායෙන් නිදහස් කරගෙන ගොස් ඇති අපද්‍රව්‍ය අඩංගු බහලූම් 130 න් බහලූම්17 ක් දැනට ප‍්‍රතිඅපනයනය කර තිබෙන අතර ඒවා ඉන්දියාවට බහලූම් 15 ක් සහ ඩුබායි රටට දෙකක් වශයෙන් යවා තිබේ.

අදාළ බහාලූම්වල අඩංගු අපද්‍රව්‍යවල සම්පූර්ණ බර කිලෝග‍්‍රෑම් 2,964.850 ක් වූ අතර දැනට ප‍්‍රතිඅපනයනය කර ඇති මුළු අපද්‍රව්‍ය බර ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 283,405 ක් බවත්, ඉන් කිලෝග‍්‍රෑම් 181,000 ක් කිසිදු පිරිසැකසුමකින් තොරව අපනයන කර තිබෙන බවත් පැවසේ. තවත් කිලෝග‍්‍රෑම් 102,405 ක් පිරිසැකසුම් කර අපනයනය කර ඇති බවද රේගු පරීක්ෂණවලදී තවදුරටත් අනාවරණය වී තිබේ.