පූජිත්ට සහ හේමසිරිට ඇප ලැබුණත් ඊට එරෙහිව නීතිපති පසුපස පන්නයි

Spread the love

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට ඇප ලබාදීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් අද(18) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කර තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් අදාළ සැකකරුවන් දෙදෙනා පසුගිය 09 වනදා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.

නීතිපති දප්පුල ද ලිවේරා කොළඹ මහාධිකරණයට ගොනු කළ ප්‍රතිශෝධන අයදුම්පතේ සඳහන් වන්නේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර යන අය ඇප මත මුදාහැරීම නීතිවිරෝධී, අයුක්ති සහගත, අසාධාරණ සහ අත්තනෝමතික බවයි.

නිවේදනයක් නිකුත් කරමින් නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසන්නේ ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයදුම්පත මඟින් නිශ්චිත බුද්ධි තොරතුරු නොසලකා හරිමින් මෙම සැකකරුවන් සිය ගණනක් ජීවිත බිළිගැනීමට ඉඩහැරීම මිනීමැරීමේ චෝදනාවක් ලෙස මහාධිකරණයට පෙන්වා දුන් බවයි.

ඒ අනුව සැකකරුවන් ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් ඇප නියෝගය අත්හිටුවමින් අතුරු නියෝගයක් ලබා දෙන ලෙස ප්‍රතිශෝධන අයදුම්පත හරහා නීතිපතිවරයා මහාධිකරණයෙන් ඉල්ලා තිබේ.