අපේ රටේ පාලකයෝ රටේ ආර්ථිකය හදන්න ප්‍රාග්ධනය හොයාගෙන, ආයෝජකයො හොයාගෙන අවුරුදු ගාණක් පිස්සු බල්ලො වගේ ලෝකෙ වටේ දුවල අවුරුදු 70ක් ගත වෙලත්, හදපු රටක් නැති බවත්, රටේ සැබෑ ප්‍රාග් ධනය පාලකයන්ට නොපනීම නිසාත් රටේ සම්පත් නිසි ලෙස කළමනාකරණය කර නොගැනීම නිසාත්, සල්ලි තියාගෙන දුක් විඳින, දඬුවම් විඳින රටක් බවට අපේ රට පත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ උෟව පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න පසුගියදා බදුල්ල තැපැල් ශ්‍රවණාගාරයේ පැවති උත්සවයට සහභාගි වෙමින් පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
හොඳම දේ දරුවන්ට නොලැබෙන නිසා සමාජයේ මතයක් හැදුවා, ‘හොඳම දේ දරුවන්ට කියලා.’ අද හොඳම දේ සමාජයක් හැටියට රටක් හැටියට දරුවන්ට දෙනවද කියන එක ගැන හිතනකොට අපිට පේනවා හොඳම දේ දරුවන්ට නොලැබෙන බව. ඒ නිසා අපි මහන්සි ගන්නවා හොඳම දේ දරුවන්ට දෙන සමාජයක් හදන්න.
අපේ රටේ පාලකයෝ හොඳම දේ දරුවන්ට දෙනවා කීවත් කාගෙ දරුවටද දෙන්නෙ කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා.
ලැම්බොගිනි දෙන්නෙ තමන්ගෙ දරුවන්ට නම්, හොඳම ආහාර ටික දෙන්නෙ තමන්ගෙ දරුවට නම්, රටේ දරුවන්ට ඒවා නොදෙනවනම් ඒක රටක් හැටියට හොඳම දේ දරුවන්ට දුන්නා වෙන්නෙ නැහැ. රටේ තීන්දු තීරණ ගන්න සමහර අය හොඳම දේ තමන්ගෙ දරුවන්ට දීල නරකම දේ රටේ දරුවන්ට දෙනවා.
සැබෑ ප්‍රාග්ධනය රටේ තිබුණත් රටේ ඉහළ පාලකයන්ට ඒ ප්‍රාග්ධනය පේන්නෙ නැති එක ගැටලුවක්. අපිට තියෙනවා වර්ග කිලෝමීටර් 65610ක්. ඒ ඇතුළෙ හොඳ සාරවත් පොළොවක් තියෙනවා. ගොඩබිමට වඩා හත් ගුණයක මහ මුහුදක් තියෙනවා. ඒ ඇතුළෙ මහ ඛනිජ සම්පතක් නිදන් වෙලා තියෙනවා. අහසින් වැටෙන මහ වැස්ස තියෙනවා. රටම තෙත් කරමින් මධ්‍යම කඳුකරයේ සිට ගලායන ගංගා පද්ධතියක් තියෙනවා නම් මේ තමයි අපිට තියෙන ප්‍රාග්ධනය. මේවා තියාගෙන ඇයි අපි දුප්පත් වෙන්නෙ. අපි සල්ලි තියාගෙන දුක්විඳින රටක්.
උෟව වෙල්ලස්සෙ ඉඩම් අක්කර 62,000ක් සිංගප්පූරු සමාගමකට දෙන්න සූදානම් වෙනවා මේ පාලකයෝ. අපේ රටේ ඉඩම් අක්කර මිලියන ගාණක් දැන් අපිට අයිති නැහැ. උෟව පළාත ගත්තම කිරිඳි ඔය අක්කර දහස් ගාණක් ඇමෙරිකාවේ ඩෝල් සමාගමට දීලා. පැල්වත්තෙ අක්කර දහස් ගාණක් නෙල්නා සමාගමට දීලා. උල්හිටියෙ ඉඩම් නෙල්නා සමාගමට දීලා තියෙනවා. නමුත් තවමත් අපේ ගම්වල මිනිස්සු ඉන්නවා ගෙයක් හදාගන්න ඉඩම් කෑල්ලක් නැතිව.
අපේ රටේ තියෙන්නෙ හොඳ පාලනයක් නම් මෙහෙම වෙන්න පුළුවන්ද? හොඳ පාලනයක් නම් ජාතිවාදය තියෙන්න බැහැ. ආගම් වාදය තියෙන්න බැහැ. ස්ත්‍රී දූෂණ තියෙන්න බැහැ. අතවර සිදුවෙන්න බැහැ. කොමිස් ගැනීම් සිදුවෙන්න බැහැ. එහෙමනම් හොඳම දේ දරුවන්ට දෙන්නත්, හොඳ පාලනයක් මේ රටේ හදා ගන්නත් බැරි වෙලා නේද?
අද වැඩි වියදමක් දරන්න වෙලා තියෙන්නෙ දරුවන්ගෙ අධ්‍යාපනයට. ඒ නිසා සල්ලි තියෙන කෙනාට සුපිරි අධ්‍යාපනයට යන්න පාරවල් හදලා තියෙනවා. අද අධ්‍යාපනය සල්පිල්වල අලෙවි වන භාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවා. සල්ලි තියෙන කෙනාට අධ්‍යාපනයට යන්න පුළුවන්. හොඳට සල්ලි තියෙන කෙනා ඔරිජිනල් අධ්‍යාපනය ලබනවා. නැති කෙනා ලෝකල් අධ්‍යාපනය ලබනවා. අද තියෙන්නෙ එහෙම සමාජයක්. ඒ නිසා දැන් ඉන්නෙ පාලකයො නෙවෙයි මුදලාලිලා. අපේ රටේ ලොකු මුදලාලිට කියනවා ජනාධිපති කියලා. දෙවැනි මුදලාලිට කියනවා අගමැති කියලා.
කැබිනට් එක කියන්නෙ ලොකු මුදලාලිත් දෙවැනි මුදලාලිත් දා ගත්තු කොම්පැනියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෝ. මේ ඉන්නෙ පාලකයෝ නෙවෙයි බිස්නස්කාරයෝ ටිකක්. මේ රට යන්නෙ වැරැදි පාරක. අපිට පුළුවන් වෙන්න ඕන මේ සමාජය ප්‍රතිනිර්මාණය කරන්න සමත් පාලනයක් නිර්මාණය කරගන්න. සමහරු ඡන්දෙ දීලා සුබ අනාගතය බලාපොරොත්තු වෙනවා. සමහරු ඡන්දෙ දීලා ආශ්චර්ය බලාපොරොත්තු වෙනවා. සමහරු ඡන්දෙ දීලා ධර්මිෂ්ඨ සමාජයක් බලාපොරොත්තු වෙනවා. තවත් සමහරු යහපාලනය බලාපොරොත්තු වෙනවා. ඒක හරියට නියගලා හිටුවලා සේපාලිකා බලාපොරොත්තු වෙනවා වගේ වැඩක්.
දැන් මේ ඔබ භුක්ති විඳින අස්වැන්න ඔබ විසින් වගා කරපු අස්වැන්න බව අපි මතක තබා ගත යුතුයි. කුඩු රට පුරා ඉහවහා ගිහින් නම්, වංචා දූෂණ රට පුරා පැතිරිලා නම් ජාතිවාදය, ආගම් වාදය හිස ඔසවා තිබේ නම්, ඒ රටේ ජනතාව වගා කරපු අස්වැන්නයි.