අපේ නායකතුමා කිසිම දවසක මේ රටේ ඒකීයභාවයට හෝ බුද්ධාගමට කිසිම හානියක් වෙන්න ඉඩ තියන්නේ නැහැ

Spread the love

අපි රට බෙදන්න යනවා කියලා බොරු පතුරවනවා. අපේ නායකතුමා කිසිම දවසක මේ රටේ ඒකීය භාවයට හෝ බුද්ධාගමට කිසිම හානියක් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා කියන්න කැමැතියි. බොරු බිල්ලෙක් මවනවා හැර ඔවුන්ට කියන්න දෙයක් ඇත්තෙම නැතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති මහාමාර්ග හා ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මාවනැල්ලේදී පැවැසීය.

ඒ මහතා ඒ බව පැවැසුවේ එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කර තිබූ මාවනැල්ල එක්සත් ජාතික පක්ෂයේ යුක්තියේ සටන ජයග්‍රහණය සමරන බල මණ්ඩල රැස්වීමට එක් වෙමිනි. ඒ මහතා මෙසේද කීය.

අපි කිසිම ගිවිසුමක් අස්සන් කරලා නැහැ. කිසිම පක්ෂයක් එක්ක අපි ගිවිසුම් අස්සන් කරන්නෙත් නැහැ. ඒක තමයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය. අපි හොර ගිවිසුම් ගහන්නේ නැහැ. කැලෑවලට ගිහින් කොටිත් එක්ක කතා කරන්නෙත් නෑ. රෑ ජාමයේ ගිහින් උතුරේ ඉන්න සිරකරුවන් සමඟ ඩීල් දාගෙන මහින්ද රාජපක්ෂ මහත්තයාට බහුතරය හොයලා දෙන්න කියලා කතා කරගන්නෙත් නැහැ. එජාපය එහෙම වැඩ කරන පක්ෂයක් නෙවෙයි.

අද රටේ අනන්‍යතාව, ජාති ආලය ගැන කතා කරන අයම තමයි නැඟෙනහිර පොලිස් ස්ථානවල සේවය කරපු නිරායුධ පොලිස් නිලධාරීන් සිය ගණනාවක් මරලා දාපු, අරන්තලාවේ භික්ෂුන් වහන්සේ සිය ගණනාවක් ඝාතනය කරපු පිල්ලෙයාන්ලා, කේ.පී.ලා, විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන්ලා තමන්ගේ ඔඩොක්කුවේ තියා ගත්තේ. කරුණා අම්මාන් ශ්‍රී ලනිප උප සභාපති කරලා ඔඩොක්කුවේම තියා ගත්තේ මෛත්‍රිපාල සිරිසේන මහතා මහ ලේකම් ලෙස ඉන්න කොට. ඒවා කළේ කොහොමද කියලා අහන්න කැමැතියි. ඔවුන්ට තුනෙන් දෙකේ බලය තිබිලා ඇයි මේ අය ඔඩොක්කුවේ තියා ගත්තේ. මහ ලොකුවට මේ රටේ දේශප්‍රේමීත්වය ගැන කතා කරනවා. නමුත් ඔවුන් බලයේ ඉන්නකොට කරපු දේවල් තමයි ඔය. බලයේ ඉන්නකොට වෙන විදියටත් විපක්ෂයේ ඉන්නකොට වෙන විදියටත් තමයි කතා කරන්නේ.

මේ අර්බුදය පටන් ගත්තේ කවුද? පාර්ලිමේන්තුවේ බලය හොරෙන් ගත්තේ රටේ ජනතාවගේ ඉල්ලීමකටද? ඡන්දයෙන් පත් කරපු ආණ්ඩුව වෙනස් කරන්න කියලා මිනිස්සු ඉල්ලුවේ නැහැ.

නමුත් ඔවුන් කරන දේවල්වලට ඉඩ දීලා බලන් ඉන්න අපිට බෑ. මේ ආණ්ඩුව පත් කළේ මහ ඡන්දයකින්. මේ බලය කාට ගියත් කමක් නැහැ. ඔවුන්ට ගියත් කමක් නැහැ. නමුත් ඉස්සරහා ‍ෙදාරෙන් ඇවිත් බලය ගන්න කියලයි අපි කිව්වේ.

අපි වැරැදි දේට කෙළින් ඉන්නවා. අලියා කුලප්පු කෙරුවාම අලියා නිකම් ඉන්නේ නැහැ. ඒක තමයි වුණේ. රටේ ජනතාවත් පෙළගැසුණා සිදුවූ වැරැදි ක්‍රියාවට එරෙහිව.

අවුරුදු 20ක්ම මේ රට පාලනය කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානය. නමුත් අපි 2015 ජනවාරි 8දා මේ රට භාර ගත්තේ ප්‍රශ්න වැලක් එක්ක. අපි නිකම් නෙවෙයි රට භාර ගත්තේ. ණය කන්දක්, කුණු කන්දක්, සයිටම් එක, විරැකියාව යනාදී ප්‍රශ්නත්, පරිසර ප්‍රශ්නත් එක්ක. ඒ අවුරුදු 20 තුළ ඕනෑ තරම් අවස්ථාව තිබුණ ඒවට උත්තර දෙන්න.

බලයේ ඉන්නකොට වතුර ඉල්ලපු අයට වෙඩි තිබ්බා. කම්කරුවෝ ඇවිත් පඩි වැඩි කරන්න කියපුවාම වෙඩි තිබ්බා. ධීවරයන් බෝට්ටු ගැන කියලා තිබෙන ප්‍රශ්න ගැන කතා කරපුවාම වෙඩි තියලා දැම්මා. ඒ අවස්ථාවේදී මහින්ද මහත්තයලාගේ හෙන්චයියලා නියෝජනය කළේ ජාවාරම්කරුවෝ, කොන්ත්‍රාත්කරුවෝ.

අපි 13 වැනි සංශෝධනය ගෙනාවට පස්සේ රටේ රාජ්‍ය දේපළ ගිනි තිබ්බා. ඒකට එරෙහිව පෙළපාළි ගියා. අද ඒ අය කියනවා පළාත් සභා ඡන්දය ඉක්මනට තියන්න කියලා.

ගාමිණී දිසානායක මහත්තයා ක්‍රිකට් ක්‍රීඩාව ලංකාවට ගෙනාවට පස්සේ ඒකට විරුද්ධ වුණු පොහොට්ටුවේ අයියලා අද මැච් එකක් තියෙන කොට ඉස්සරහට ගිහින් ඉඳගෙන ඉන්නවා. ප්‍රේමදාස මහත්තයා ගමේ ළමයින්ට රට පුරා ඇඟලුම් කර්මාන්ත ශාලා හදලා රැකියා ලබා දෙද්දී මේ අය කීවා සුද්දන්ට ජංගි මහනවා කියලා. නමුත් ඔවුන්ට මේ වෙනකම් එක විශාල කර්මාන්තයක්වත් විවෘත කරගන්න බැරි වුණා. අපි රටේ ජනතාව වෙනුවෙන් වැඩ කරපු පක්ෂයක්.

ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකාවේ පුරවැසියෙක්. එයාලා නිදහසේ ඇමෙරිකාවට යනවා. සරත් ෆොන්සේකා මහතාට තමයි තවම ඇමෙරිකාවට යන්න බැරි. යුද වීරයා හැටියට එයාට තමයි ලොකුම තර්ජනය තියෙන්නේ.

එක්සත් ජාතික පක්ෂය අලුත් ව්‍යවස්ථාවක් ගෙනාවා කියලා දැන් අපිට ගහනවා. අපි පාර්ලිමේන්තුවට අලුත් ව්‍යවස්ථාවක් ගැන යෝජනාව ඉදිරිපත් කළා. ජේ.ආර්. ජයවර්ධන මහතා හදපු ව්‍යවස්ථාව අපි අලුත් කරන්න තීරණය කළා.

RSL

Related Posts