මවුපිය පදවිය ජනාධිපති පදවියට වඩා ඉහළයි
- RSL
- October 3, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Maithripala Sirisena, President Maithripala Sirisena
- 0 Comments
අපිට ඕනෑ තරම් විභාග සමත් වෙන්න පුළුවන්. නමුත් වඩා වැදගත් වන්නේ ජීවිතය සමත් කර ගැනීමයි. විශ්වවිද්‍යාල තුළින්ද දරුවන් ජීවිතය සමත් කරගත යුතු යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පෙරේදා බළපිටියේදී ප්‍රකාශ කෙළේය.
තවද අපේ රට දූපත් රාජ්‍යයක් ලෙස සංචාරක ව්‍යාපාරය සම්පතක් බවත් එම සංචාරක ව්‍යාපාරයම විස මත්ද්‍රව්‍ය ව්‍යාප්තියටත් හේතු වී තිබෙන බවද පැවැසීය. බළපිටිය, රේවත ජාතික පාසලේ 2018 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සමගාමීව, ළඟම පාසල හොඳම පාසල සංකල්පය යටතේ ඉදිකරන ලද පුස්තකාලය සහිත තාක්ෂණික විද්‍යාගාරයත් තාක්ෂණික හා උපදේශන ගොඩනැඟිල්ලත් ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණු අතර එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.
බළපිටිය, රේවත පාසලේ විදුහල්පති ඩී. සිරිනන්ද මහතා එතුමාගේ කතාවේදී කිව්වා, සිංහල දරුවන් වගේම මුස්ලිම් දරුවන් සහෝදරත්වයෙන් මේ පාසලේ ඉගෙන ගන්නා බව. සියලු ආගම්වලත්, අධ්‍යාත්මික දර්ශනයන්ගේ පැහැදිලි කරලා තිබෙනවා දරුවන්ගේ, පුද්ගලයන්ගේ, පරිසරයේ ප්‍රශ්න විසඳන විදිය. ඒ මඟින් පෙන්වා තිබෙනවා. දරුවන්ගේ ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කිරීම සියලු ආගම්වල වගකීමක්. ඉතා වැදගත් වන්නේ දරුවන්ගේ සුරක්ෂිතභාවයයි. මවුපියන් දරුවන් සම්බන්ධයෙන් වැඩිම කාලයක් මුහුණ දෙන ප්‍රශ්නයත් ඒකයි. දරුවන්ගෙන් ප්‍රධාන වශයෙන්ම වාර්තා වන්නේ මානසික හා කායික ප්‍රශ්නයි.
දරුවන්ට ලැබෙන ආදරයේ ප්‍රමාණය සම්බන්ධයෙන් වූ ප්‍රශ්නය ඉතා වැදගත්. දරුවාට ආදරය කිරීම, ඉතා වැදගත් වෙනවා. ජනාධිපති තනතුර, මැති ඇමැති තනතුරු, සභාපතිකම්, අධ්‍යක්ෂකම්වලට වඩා වැදගත් වෙන්නේ මව සහ පියා කියන තනතුරු දෙකයි. දරුවන් මවුපියන්ට දක්වන ආදරය, ගෞරවයේ ප්‍රමාණය තීරණය වෙන්නේ මවුපියන් දරුවන්ට දක්වන ආදරය, ගෞරවයේ ප්‍රමාණයෙන්. මවුපියන් දරුවන් රකින බව දරුවන්ට තේරෙන්න ඕනෑ. ඒ වගේම දරුවන්ගේ ප්‍රශ්න විසඳන බවත් තේරෙන්න ඕනෑ.
මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නය අපිට විශාල ගැටලුවක් වෙලා. එක්සත් ජාතීන්ගේ සංවිධානය, නීති විරෝධී මත්ද්‍රව්‍ය, විස මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නව නීති සම්පාදනය කර තිබෙනවා. නමුත් සියලු ආරක්ෂක වැඩපිළිවෙළවල් මැදින් රිංගා මත්ද්‍රව්‍ය දිවයිනට එනවා. පාසල්වලට විශ්වවිද්‍යාලවලට මත්ද්‍රව්‍ය බෙදා හරින්නේ නොමිලයේ. විශ්වවිද්‍යාල සිසුන් අඳින විදියට ටී ෂර්ට් එකක්, සෙරෙප්පු දෙකක් දාගෙන, බෑග් එකකුත් කරේ එල්ලාගෙන ඇවිත් විශ්වවිද්‍යාල ඇතුළේ මත්ද්‍රව්‍ය බෙදා හරිනවා.
මම 2015 ජනාධිපති වූ විගස මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙළ නැවත පටන් ගත්තා. මම සෞඛ්‍ය ඇමැතිවරයා ලෙසත් එම කටයුතු ඉටු කළා. එහි ප්‍රතිඵල අද අපි භුක්ති විඳිනවා. ඇමෙරිකාව් හැම පාරකම හැම බස් හෝල්ට් එකකම සිගරැට් බොනවා. නමුත් අපේ රටේ ප්‍රසිද්ධ ස්ථානවල කවුරුවත් සිගරැට් බොන්නේ නැහැ. එම නීති රීති සකස් කරන්න අපිට පුළුවන් වුණා. ඒ අතින් අපි ඉස්සරහට ඇවිත් තිබෙනවා.
දරුවන් කාගේ දරුවන්ද යන්න නොව දරුවන් අපේ දරුවන් ලෙස සිතා අපි කටයුතු කළ යුතුයි. මේ පාසලේ දියුණුව සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. අපේ ආණ්ඩුවෙන් විශාල වශයෙන් ප්‍රතිලාභ ලැබුණ බව දයාරත්න මහතා කිව්වා. මේ පාසලේ භෞතික සම්පත් හා මානව සම්පත් විශාල වශයෙන් දියුණු කර තිබෙනවා.
ගුරු හිඟය මේ පාසලට විතරක් නෙවෙයි රටටම විශාල ප්‍රශ්නයක්. අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්නා විශාල පිරිසක් සේවය කරන්නේ පිටරටවලට. ඒ නිසා අපේ රටේ ඉන්ජිනේරු, වෛද්‍යවරු, මෙන්ම ගුරුවරුනුත් විශාල වශයෙන් හිඟයි. ඔවුන් වැඩි පඩියට, පහසුකම්වලට විදේශගත වෙනවා. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්නා අපි අවම වශයෙන් වසර 10ක්වත් රටට සේවය කරනවා කියලා හිතාගන්න ඕනෑ. වෙනත් රටවල නම් උගතුන්ට පිටරට යෑම සම්බන්ධයෙන් සීමා තිබෙනවා.

