නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වී ඇති අධිකරණයට අපහාස කිරීමේ නඩුව පංච පුද්ගල විශේෂ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ විභාගයට ගැනීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සඳහා දෙසැම්බර් මස 10,11 හා 12 යන දින තුනද නියම කළේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායකට එරෙහිව නඟා ඇති චෝදනා අඩංගු ආඥා පත්‍රය ඉකුත් ජූලි මස 30 වැනි දින අගවිනිසුරු ප්රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේදී ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරයා විසින් කියවා ඔහුට භාර දෙනු ලැබීය. චෝදනාවලට තමා නිවැරදිකරු බව ඔහු ප්‍රකාශ කර සිටියෙන් සැප්තැම්බර් 05 දිනට නඩුව කැඳවීමට නියම විය.
ඒ අනුව අගවිනිසුරු ප්රියාසාත් ඩෙප්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් කේ. මලල්ගොඩ හා ටී.බී. දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ ඊයේ නඩුව කැඳවූ අවස්ථාවේදී එකී නඩු විභාගය පංච පුද්ගල විශේෂ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කරන ලද බැව් ප්‍රකාශ කළේය.
මෙම චෝදනාව සම්බන්ධයෙන් තමා හට දඬුවම් නොපැමිණ වීමට තරම් ප්‍රමාණවත් හේතු කාරණා ඇත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායකට ප්‍රථම වරට 2018 ජුනි මස 18 වැනි දින දැනුම් දෙනු ලැබීය. ඒ අනුව ඉදිරිපත්කරන ලද කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බැව් ශ්‍රේෂ්ඨාධිකරණයේ සමස්ත විනිශ්චය මණ්ඩලයම සිද්ධියට පාදක වූ හඬ පට හා වීඩියෝපට විශ්ලේෂණයෙන් පසු නිගමනය කරන ලද අතර ඒ අනුව මෙම නඩුව දිගටම පවත්වාගෙන යෑමට නියම කෙරිණි.
ශ්‍රී ලංකාවේ අධිකරණවල සේවය කරන විනිශ්චයකාරවරුන් හා නීතිඥවරුන්ගෙන් සියයට 95ක්ම දූෂිත පුද්ගලයන් බවට මාධ්‍ය අමතා ප්‍රකාශ කිරීම මඟින් අධිකරණය බරපතළ අපහාසයකට හා අපහසුතාවකට පත්කර ඇති බවටත් ජනතාව අතර අධිකරණය කෙරෙහි වන ගෞරවයට හා විශ්වසනීයත්වයටද හානි පමුණුවන ලද බවටත් නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායකට එරෙහි පැමිණිලි මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රකාශ කොට ඇත.
විත්තිකාර රාමනායක මහතාට එරෙහිව එල්ල කර ඇති චෝදනා පත්‍රයේ සඳහන් කර ඇති ප්‍රකාශයක් ඔහු කර නැතැයිද ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා පැවැසීය.
එහෙත් ඔහු නොකළ, උසාවියට අපහාස වන අන්දමේ ප්‍රකාශයක් ඔහු කළ බවට විද්‍යුත් මාධ්‍ය මගින් විටින් විට ප්‍රකාශයට පත්කරන බවත් එම වරද කරන මාධ්‍යවලට එරෙහිව නීතිපතිවරයාට පියවර ගත හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
පැමිණිල්ල විසින් ඊයේ උසාවියට ගොනු කරන ලද සාක්ෂි ලැයිස්තුවට නම් 16 ක් ඇතුළත්ව තිබිණි.
පැමිණිල්ලේ සාක්ෂිකරුවන් අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් මහතා රංජන් රාමනායක මහතා උසාවියට අපහාස වන ආකාරයට ප්‍රකාශයක් කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළ ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියකු වන සුනිල් පෙරේරා, මාගල්කන්දේ සුදත්ත හිමි සහ සුදේව හෙට්ටිආරච්චි, දයාන් සම්පත් ලක්මාල් සූරියගොඩ යන මාධ්‍යවේදීහුද වෙති. අනතුරුව ඔහු කළ ඉල්ලීමකට අනුව නඩු විභාගය පවත්වන දිනයන්හි උසාවියේ පෙනී සිටින ලෙස දන්වා එම සාක්ෂි ලැයිස්තුවේ සිටි විද්‍යුත් මාධ්‍යවේදීන් හයදෙනකුට උසාවියේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය රෙජිස්ට්රාර්වරයාට නියම කළේය.
විත්තිකාර රංජන් රාමනායක මහතා ප්‍රසිද්ධියේ කළැයි කියන එකී ප්‍රකාශය ඇතුළත් ඔහුගේ සම්පූර්ණ කතාව පටිගත කළ සංයුක්ත තැටිය ඇතුළු නඩු භාණ්ඩ 08 ක් නඩු විභාගයේදී පැමිණිල්ලේ සාක්ෂි වශයෙන් ලකුණු කර උසාවියට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් නවාන මහතා සඳහන් කළේය.
රාමනායක මහතා උසාවියට අපහාස වන ප්‍රකාශයක් කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළ දෙදෙනාගෙන් මාගල්කන්දේ සුදත්ත හිමියන් විසින් පෙත්සම අස්කරගෙන ඇත. එනිසා නඩු විභාගය පැවැත්වෙන්නේ විශ්‍රාමික නාවික හමුදා නිලධාරි සුනිල් පෙරේරා මහතාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් පමණි.