චන්ද්‍රිකාට පිස්සුද..? හැටිද..? මාධ්‍යවේදීන්ට තඟ දමා එළවයි..

Spread the love

අත්තනගල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ (13දා) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශාලාවේ පැවැත්වෙමින් තිබියදී මාධ්‍යවේදීන්ට තඟ දමමින් ඉවත් වන ලෙස එම කමිටුවේ සම සභාපති හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පැවැසීම සම්බන්ධයෙන් ඇතිවූ මත භේදාත්මක තත්ත්වයක් මත එහි කටයුතු ලබන මස 14 වැනිදා දක්වා කල් තබනු ලැබීය.

මේ රැස්වීම ආරම්භ කර ටික වේලාවකට පසුව එක්වරම හිටපු ජනපතිනි කතා කර “කවදාවත් නැතිව අද මාධ්‍ය ඇවිත්” යැයි පැවැසුවාය. මෙතැන ඡන්ද ගන්න කතා නොකරන නිසා මාධ්‍ය අනවශ්‍ය බවද ඇය පැවැසුවාය.

මෙහිදී මාධ්‍යවේදීන් පැවැසුවේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ ලිඛිත ආරාධනයක් මත ආ බවයි. ලේකම්වරයා යන්න කියනවා නම් යෑමට සූදානම් යැයි පැවැසූ අවස්ථාවේ ප්‍රාදේශීය ලේකම් එස්.පී. ගුණවර්ධන මහතා පැවැසුවේ මහජනතාව වෙනුවෙන් කරන කටයුතු වාර්තා කිරීමට ඉඩ දිය යුතු බවයි.

මාධ්‍යවේදීන් පිටව නොයන්නේ නම් තමන් නැඟිට යන බවද බණ්ඩාරනායක මහත්මිය කීවාය. මාධ්‍ය සමබරව හා ස්වාධීනව ප්‍රවෘත්ති ඉදිරිපත් නොකරන නිසා තමන්ද මාධ්‍යවේදීන්ගෙන් ඉවත්ව යන ලෙසට ඉල්ලා සිටින බව මේ අවස්ථාවේදී සම සභාපති බස්නාහිර පළාත් සභා මන්ත්‍රි චන්ද්‍රසෝම සරණලාල් මහතා පැවැසීය.

ඕන අයට පමණක් ලිපි යවා ඇතැයිද සියලු මාධ්‍ය වෙත ලිපි යවා ඇති බවට විශ්වාසයක් නැතැයිද හිටපු ජනපතිනිය පැවැසුවාය. ඉදිරි රැස්වීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් මාධවේදීන් කැඳවිය යුතු බවද ඇය සඳහන් කළාය.

අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති පියන්ත පුෂ්පකුමාර (පොජපෙ) මහතා මාධ්‍යවේදීන්ගේ සහභාගිත්වය අවශ්‍ය බවට කරුණු දැක්වීය. එමෙන්ම කැඳවීමක් නැති අය පැමිණ සිටින බවද සභාපතිවරයා පැවැසීමෙන් පසු එසේ පැමිණ සිටි පිරිසට නැඟිටින ලෙස හිටපු ජනපතිනිය දැන්වූ අවස්ථාවේ ඇයගේ සම්බන්ධීකරණ ලේකම් ජස්ටින් නවරත්න මහතා ඇතුළු පිරිසක් නැඟිට සිටියහ. ඔවුනට ඉවත්ව යන ලෙස දන්වනු ලැබීමෙන් පසු ඉවත්ව ගියහ.

අනතුරුව සම සභාපති සරණලාල් මහතා ලබන මස 14 වැනිදා දක්වා සභාව කල් තැබීමට යෝජනා කිරීමෙන් පසු රැස්වීමේ කටයුතු අවසන් කෙරිණි.

RSL

Related Posts