බුකීකරුවන්ගේ ක්‍රිකට් මැච් ෆික්ස් කිරීමේ හෙළිදරව්ව ගැන ICCය අල්ජසීරා සමඟ සාකච්ඡාවක
- RSL
- June 4, 2018
- උණුසුම් පුවත්, ක්‍රීඩා
- Sri Lanka Cricket
- 0 Comments
ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් අල්ජසීරා රූපවාහිනි සේවය පසුගියදා නිකුත් කරන ලද වාර්තාමය වැඩසටහනක් මඟින් හෙළිදරව් කරන ලද පුද්ගලයන් පිළිබද සංස්කරණය නොකරන ලද වීඩියෝ දර්ශන හා සාක්ෂි සියල්ල ලබාගැනීමේ අරමුණින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(අයි.සී.සී-ICC) එම රූපවාහිනි සේවය සමග පැවැත්වීමට නියමිතව තිබූ හමුව සුළු අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ.
වාර්තාමය වැඩසටහනේ සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන ලබා ගැනීම පිළිබඳව අල් ජසීරා පුවත් සේවය සමඟ ලන්ඩන් නුවරදී සාකච්ජා කිරීමට නියමිත බව අයි.සී.සී. ප්‍රධාන විධායක නිලධාරි ඩේවිඩ් රිචර්ඩ්සන් මීට දින කිහිපයකට ඉහතදී පවසා සිටියද එම තරග පාවාදීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව මේ වන විට පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතින නිසා අයි.සී.සී.ය සමඟ පැවැත්වෙන හමුව කල් දැමිය යුතු බව අල් ජසීරා පුවත් සේවයේ නියෝජිතයෙක් පවසා ඇත. කෙසේ වෙතත් ඔට්ටුකරුවන් ලබා දෙන ලකුණු ලබා ගැනීමේ වේගයට අනුව තරගවලදී ක්‍රීඩා කරන එංගලන්ත ක්‍රීඩකයන් තිදෙනකු හා ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් දෙදෙනකු පිළිබඳව අල් ජසීරා වාර්තාමය වැඩසටහනේදී සඳහන් වූ නමුත් ඔවුන්ගේ නම් හෙළි නොවන අයුරින් වීඩියෝ පටය සංස්කරණය කර තිබිණි. එමෙන්ම ඔට්ටුකරුවන් මුදල් හා අයි.සී.සී. නිලධාරීන්ගේ සම්බන්ධකම් උපයෝගී කරගනිමින් අයි.සී.සී දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් නොමඟ යවන බවටද එම වැඩසටහනේදී ප්‍රකාශ කළද එම ප්‍රකාශයට තමන් එකඟ නොවන බවත් මේ පිළිබඳ අයි.සී.සී.ය පරීක්ෂණ පැවැත්වීමට දැඩි උනන්දුවකින් පසුවන බවත් අයි.සී.සී. ප්‍රධාන විධායක නිලධාරි ඩේවිඩ් රිචර්ඩ්සන් පවසා ඇත.
තවද මාධ්‍ය වාර්තා සුරැකීම පිළිබඳ මනා අවබෝධයකින් පසුවන බවත් එයට ඉතා ගරු කරන බවත් පැවැසූ රිචර්ඩ්සන් “අපේ දූෂණ මර්දන ඒකකය මීට පෙර වෙනත් මාධ්‍ය ආයතන සමඟ මේ වගේ කටයුතු කරල තියෙනව. කොහොම වුණත් මේ චෝදනා ඔප්පු කරන්න නම් අපිට ඒ වැඩසටහනේ සියලුම සාක්ෂි බලන්න වෙනවා” යැයි පැවැසීය.

