ලංගමය කෝටි 200ක් ලාභ ලබයි
- RSL
- May 31, 2018
- ආර්ථික සහ ව්‍යාපාරික, උණුසුම් පුවත්
- SLTB, Sri Lanka Transport Board
- 0 Comments
2016 වසර වන විට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය ඩිපෝ 106න් ඩිපෝ 79කම සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් තිබූ අතර මණ්ඩලයේ මුළු ණය බර රුපියල් කෝටි 1500ක් වූ බවත් එහෙත් කාර්යක්ෂම කළමණාකරණය නිසා රුපියල් කෝටි 200ක ලාභයක් ලැබීමට හැකි වූ බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා වැඩබලන අමාත්‍ය අශෝක් අබේසිංහ පවසයි.
ශ්‍රී ලංගමය දැන් සියළු සේවකයින්ට නියම වෙලාවට වැටුප් ගෙවන අතර විශ්‍රාම යන සේවකයන්ගේ සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාර අරමුදලේ ප්රතිලාභ ප්‍රමාද නෙකර කඩිනමින් ගෙවන ලද බවද ඔහු පැවසුවේ බත්තරමුල්ලේ ප්‍රවාහන හා සිවිල් ගුවන් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.
සේවක වැටුප් ගෙවීම සඳහා දිගු කලක සිට භාණ්ඩාගාරයෙන් මුදල් ලබාගෙන තිබුණද 2017 වර්ෂයේදී ශ්‍රී ලංගමය භාණ්ඩාගාරයෙන් සතයක්වත් ලබා ගෙන නොමැති බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
ශ්‍රී ලංගමයේ 36000ක් වු සේවක සංඛ්‍යාව 30000ක් දක්වා අඩු කරනු ලැබීය. ඒ සඳහා රුපියල් කෝටි 800ක මුදලක් සිය කැමැත්තෙන් විශ්‍රාම ගිය සේවකයන්ට වන්දි වශයෙන් ගෙවා ඇත. රියදුරන් හා කොන්දොස්තරවරුන් හැර වෙනත් කිසිදු සේවකයකු ශ්‍රී ලංගමයට බඳවා ගත්තේ නැත. ඔවුන් බඳවා ගන්නේ සේවා අවශ්‍යතාවය මත ඒ ඒ ඩිපෝව මගිනි. ඔවුන්ට වැටුප් ගෙවනු ලබන්නේද එම ඩිපෝ වල ආදායමිනි. තවද ලංගමය විසින් මගීන්ගේ පහසුව තකා රාත්‍රී ගමන් කරන මගීන් වෙනුවෙන් නිසි සැරියද ග්‍රාමීය ප්‍රදේශ වල ජනතාව වෙනුවෙන් ගැමි සැරිය හා පාසල් සිසුන් වෙනුවෙන් සිසු සැරිය නමින් බස් සේවා පවත්වාගෙන යන බවද වැඩ බලන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

