ගැටුම්වලින් 71ක් අත් අඩංගුවට; දේපල හානි සිද්ධීන් 45ක්; පූජනීය ස්ථාන 4කට හානි; ජීවිත හානි 2 ක් (Video)

Spread the love

මහනුවර ප්‍රදේශයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන අමිත් ජිවන් වීරසිංහ ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද(08) අලුයම කාලයේ දී සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් සමාජ ජාලා තුළින් කලහකාරී සිදුවීම් ක්‍රමන්ත්‍රණය කරමින් සිටි මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර පසුගිය 4 වන දා සිට අද දින උදෑසන 6.00 දක්වා කාලය තුළ ගැටුම්වලට සම්බන්ධ පුද්ලයින් 71 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.‍

අද(08) සවස කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

පසුගිය 4 වන දා සිට අද උදෑසන කාලය දක්වා නිවාස හා වෙළඳසැල්වලට අලාභ සිදු කිරීමේ සිද්ධි 45 ක් වාර්තා වන අතර පුජනීය ස්ථාන 4 කට අලාභ හානි සිදු කර ඇති බවට වාර්තා වු බව ද පොලිස් අධිකාරීවරයා මෙහිදී සඳහන් කළේය.

මේ අතර පුජාපිටිය පොලිස් බල ප්‍රදේශයේ ඊයේ(07) සිදු වු සිදුවීමකින් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇත.

ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 2 මිය ගොස් ඇති බව ද රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.