කොමිසම් සභාවලින් චූදිතයින් වන අයවලුන්ට නඩු පැවැරීමේ බලය අල්ලස් කොමිසමට

Spread the love

පරීක්ෂණ කොමිෂන් සභා මඟින් අනාවරණය කර ගනු ලබන කරුණු පදනම් කරගෙන නඩු පැවැරීමේ බලය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැවැරෙන පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට රජය තීරණය කරයි. කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටද පියවර ගැනේ.

අල්ලස් පනත යට‍තේ හෝ වත්කම් හා බැරකම් නීතිය යටතේ නඩු පැවැරීමේ බලය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලබාදීමට හැකි වන ලෙස නීතිමය විධිවිධාන සැලැස්වීම මෙමඟින් සිදු කෙරෙන බව සම කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පැවැසුවේය.

ඇමැති මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදි ඇමැතිවරයා මේ බව ඊයේ (28) ප්‍රකාශ කෙළේය.

1948 අංක 17 දරණ පරීක්ෂණ කොමිෂන් සභා පනත සංශෝධනය කිරීම සඳහා වන අදාළ සංශෝධන නීති කෙටුම්පත් සම්පාදක විසින් ව්‍යවස්ථා කෙටුම්පත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ එම කෙටුම්පත පාර්ලිමේන්තුවේ 2/3 කට නොඅඩු විශේෂ බහුතරයකින් සම්මත කර ගත යුතු බව නීතිපතිවරයා විසින් දැනුම් දී ඇතැයි ද ඇමැතිවරයා කීය.