නාමල් හා යෝෂිත රාජපක්‌ෂගේ රු. දෙකෝටි හැට ලක්ෂයක ගුවන් ගමන් ගාස්‌තු ගෙවන්න ඡේ. ආර්. ද ඥානසිරිට මුදල් කොහෙන්ද සෙවිය යුතුයි- නි. ඇමැති අජිත් පී. පෙරේරා

Spread the love

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ සහ ලුතිනන් යෝෂිත රාජපක්‍ෂ ගුවන් හමුදාව සතු ගුවන් යානා මුදල් නොගෙවා පරිහරණය කර තිබීම පිළිබඳව ජනාධිපති පරීක්‌ෂණ කොමිසම විමර්ශන සිදුකරද්දී අදාළ ගුවන් ගමන් ගාස්‌තු වෙනුවෙන් රුපියල් දෙකෝටි හැට ලක්‌ෂයක මුදලක්‌ හමුදා සෙබළකු ගුවන් හමුදාවට ගෙවීම සම්බන්ධයෙන් අල්ලස්‌ කොමිසම පරීක්‌ෂණ සිදුකළ යුතු බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා (29 දා) පැවසීය.

නාමල් සහ යෝෂිත රාජපක්‍ෂගේ ගුවන් ගමන් වෙනුවෙන් මේ සා විශාල මුදල් ප්‍රමාණයක්‌ ගුවන් හමුදාවට ගෙවා තිබෙන්නේ වයි. ඡේ. ආර්. ද ඥානසිරි නමැති හමුදා සෙබළකු බව පැවසූ නියෝජ්‍ය අමාත්‍ය පෙරේරා මහතා මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක්‌ ඔහුගේ නමින් ගෙවීමට උපයා ගත්තේ කෙසේද සහ හමුදා සෙබළකුට මෙම මුදල් ලැබුණේ කෙසේද යනුවෙන් ද අල්ලස්‌ කොමිසම පරීක්ෂණ සිදුකළ යුතු බවත් ප්‍රකාශ කළේය.

රජය සතු ගුවන් යානා, හෙලිකොප්ටර් අවභාවිතය පිළිබඳව ජනාධිපති කොමිසමෙහි වාර්තා කර තිබෙනවා. මෙහිදී දයාසිරි ජයසේකර, විමල් වීරවංශ යන මහත්වරුන් ද ගුවන් ගමන් සඳහා වියදම් සිදුකර තිබෙන අතර ඒ සඳහා විශාල මුදලක්‌ ඔවුන් යොදවා තිබීම පිළිබඳව වැඩිදුර පරීක්‌ෂණ සිදුකරන ලෙසටත් කොමිෂන් සභාව වාර්තා කර තිබෙන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය.

නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා මේ බව පැවසුවේ 29 දා විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදිය.