රාජපක්‍ෂලාට එරෙහි නඩු ප්‍රමාදයට එජාපය වගකිව යුතුයි – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

Spread the love

රාජපක්‍ෂවරුන්ට එරෙහිව නඩු ප්‍රමාද වීමට එක්‌සත් ජාතික පක්‍ෂය වගකිව යුතුයෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

තම අභියෝගය නිසා රටට පේන්න හදිසියේ දින යොදා ගෙන විවාද කරන්න හැදුවත් කොමිෂන් සභා පාර්ලිමේන්තු විවාදය කොතෙක්‌ දුරට සාර්ථක වේ දැයි තමන්ට විශ්වාසක්‌ නැති බවද ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් සමඟ ඊයේ (31 වැනිදා) පැවැති හමුවකදී ප්‍රකාශ කළේය.

පෙබරවාරි 22 වැනිදාට කල් දමා තිබූ භාණ්‌ඩාගාර බැඳුම්කර කොමිසමේ හා බරපතළ වංචා දූෂණ විමර්ශන කොමිසමේ පාර්ලිමේන්තු විවාදය ඡන්දයට පෙර පවත්වා පෙන්වන්න යෑයි තමන් කළ අභියෝගය ජනමතයක්‌ වූ නිසා ඔවුන්ට එය ඡන්දයට පෙර විවාදයට ගැනීමට සිදු වූ බවත් ජනාධිපතිවරයා කීය.

එහෙත් එම විවාදයෙන් නියම ප්‍රතිඵලයක්‌ ලබා ගැනීමට නම් විවාදය මීට කලින් පැවැත්විය යුතුව තිබූ එකක්‌ බවත්, එය මන්ත්‍රීවරයකුට විනාඩි 5 ක්‌ 10 ක්‌ කතා කර අවසන් කළ නොහැකි විවාදයක්‌ බවත් ජනාධිපතිවරයා පැවැසීය.

තාක්‍ෂණික වශයෙන් නීතිමය වශයෙන් හා ශාස්‌ත්‍රීමය වශයෙන් පුළුල්ව සහ සාරගර්භව දින කිහිපයක්‌ පැවැත්විය යුතු එම විවාදය එක්‌ දිනකින් පැය කිහිපයකින් අවසන් කිරීමට හැකියාවක්‌ නැති බවත් ජනාධිපතිවරයා පැවැසීය.

ඡන්ද ප්‍රචාරණ කටයුතු ලබන 07 වැනිදා අවසන් වීමට තිබෙන නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සියයට 90 ක්‌ වත් එම විවාදයට පැමිණෙනු ඇතැයි තමන්ට විශ්වාසයක්‌ නැති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

බැඳුම්කර කොමිසමේ හා බරපතළ වංචා දූෂණ කොමිසමේ නම් සඳහන් දූෂිතයන් එකතු වී අශුද්ධ සන්ධානයක්‌ ගොඩනගා ගත් බවත්, එකී දූෂිතයන් තම තමන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් අදාළ විවාදය ඡන්දයට පසුව පැවැත්වීමට කලින් තීරණය කර ගත් බවත් ජනාධිපතිවරයා කීය.

බැඳුම්කර කොමිසමේ හා බරපතළ වංචා කොමිසමේ පාර්ලිමේන්තු විවාදය කල් දමා ගැනීම පක්‍ෂවල උපක්‍රමයක්‌ දැයි මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු ලෙස ජනාධිපතිවරයා එම අදහස්‌ දැක්‌වීය.

එසේම රාජපක්‍ෂවරුන්ට එරෙහිව නඩු ප්‍රමාද වීමට එක්‌සත් ජාතික පක්‍ෂය වගකිව යුතු බවත්, මාධ්‍යවේදියකු නැගූ තවත් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කීය.

නීතිය හා සාමය, පොලිසිය, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව ආදී අංශ පාලනය කරන අමාත්‍යාංශ රටේ නඩු ප්‍රමාදයට වගකිවයුතු බවත් ඒ නිසා රාජපක්‍ෂවරුන්ගේ නඩුවලට ප්‍රමාදයට හේතුව එක්‌සත් ජාතික පක්‍ෂය භාර ගත යුතු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

සම්මුතිවාදී ආණ්‌ඩුවේ තිබෙන කාරණාවක්‌ අනුව එජාපය යටතේ තිබෙන අමාත්‍යාංශවලට අයත් ආයතනවලට තමන් ඇඟිලි ගසන්නේ නැති බවත් එය එජාප නායකයාට අයිති දෙයක්‌ බවත් ශ්‍රීලනිපය යටතේ තිබෙන ආයතනවලට එජාප නායකයා ඇඟිලි ගසන්නේ නැති බවත් ජනාධිපතිවරයා කීය.

2015 වසරේ සිට එක්‌ එක්‌ අමාත්‍යාංශ හා විෂයයන් බෙදා ගෙන සම්මුති ආණ්‌ඩුවේ පක්‍ෂ දෙක කටයුතු කරන බවත් ඒ නිසා කොතැන හෝ වරදක්‌ වේ නම් එම විෂයට අදාළ ඒ ඒ අමාත්‍යවරුන් සම්පූර්ණ වගකීම භාරගත යුතු බවත් ජනාධිපතිවරයා කීය.

ජනාධිපති කොමිසම තමා යටතේ පත් කළ බවත් ජනාධිපතිවරයා කීය.

කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවසේදී මෙම මාධ්‍ය හමුව ඊයේ (31 වැනිදා) දහවල් පැවැත්විණි.

-දිවයින-

RSL

Related Posts