හොරාගෙ අම්මාගේ උප්පැන්නයේ හරි වැරදි ඒ අම්මාගේ ළමයි සොයා බලයි..?

Spread the love

මහජන මුදල් රුපියල් මිලියන 11,145 කට අධික මුදලක් කොල්ල කෑ බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය වූ බව එම පක්ෂයේ මහලේකම් සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අද (17) පැවැසීය.

එම වාර්තාවෙන් එක්සත් ජාතික පක්ෂයට චෝදනා එල්ල වී නැති බව දැනගන්නට ලැබී ඇතැයි ද අමාත්‍යවරයා කීය.

ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවට එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයකුට හෝ සාමාජිකයකුට හෝ නිලධාරියකුට හෝ චෝදනා එල්ල වී ඇත්දැයි සොයා බැලීමට එම ත්‍රිපුද්ගල කමිටුව කටයුතු කරන බව ද අමාත්‍යවරයා කීවේය. කෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා එම කරුණු කීවේය.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ කීය.

“කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වුණා. එහිදි බැඳුම්කර කොමිසමේ වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ත්‍රිපුද්ගල කමිටුක් පත් කිරීමට තීරණය වුණා. එම කමිටුව සම්පූර්ණයෙන් වාර්තාව අධ්‍යයනය කරනවා. එහිදි එක්සත් ජාතික පක්ෂයට හෝ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරයකුට වෙනත් අයකුට සෘජු චෝදනා එල්ල වී තිබේදැයි සොයා බලනවා. එක්සත් ජාතික පක්ෂ සාමාජිකයකුට චෝදනා එල්ල වී තිබෙනවා ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනෙයි. එලෙස ගන්නා නීතිමය කටයුතුවලදී ඔවුන් වැරැදිකරුවන් බව සනාථ වුවහොත් එක්සත් ජාතික පක්ෂය තරා තිරම නොබලා ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නවා. එහෙත් දැනට එක්සත් ජාතික පක්ෂයට හෝ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයකු හෝ චෝදනා එල්ල වී නැති බව තමයි මට ආරංචි වුණේ” යැයි අමාත්‍යවරයා කීය.

මහ බැංකු බැඳුම්කර වංචාවෙන් සැලසුම් සහගත ලෙස මහජන මුදල් රුපියල් මිලියන 11,145 කට අධික මුදලක් කොල්ල කෑමට ආධාර අනුබල දුන් එක්සත් ජාතික පක්ෂයම තමන්ගේ හොරකමට ලැබුණු උප්පැන්න සහතික වැනි වූ බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාව සම්බන්ධයෙන් විමර්ශනය කොට ඉන් ගැලවීමට මං සෙවීම සැබැවින්ම “හොරාගෙ අම්මාගේ උප්පැන්නයේ හරි වැරදි අම්මාගේ ළමයි සොයා බලනවා වැනිය”.