පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ලංසු තැබීම සදහා රුපියල් මිලියන 708ක් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මුදල් යොදා ගනිමින් CWG හම්බන්තොට 2018 ප්‍රයිවට් ලිමිටඩ් නමින් ස්ංගම ගිණුමක් සහ රුපියල් මිලියන 11ක් ස්ථාවර තැන්පතුවක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු ඊයේ(21) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
2010.11.24 වැනි දින ආරම්භ කොට ඇති මෙම ගිණුම අදාල සමාගමේ උපදෙස් මත 2015.05.29 වැනි දින වසා දමා ඇති බවත් ඒ වන විටත් ගිණුමේ තිබූ රුපියල් මිලියන 708 ක මුදල ගිණුමේ නොතිබුණු බවත් මෙහිදී අනාවරණය විය. මෙම ගිණුම සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු අනාවරණය කල කබීර් හෂීම් අමාත්‍යවරයා සදහන් කලේ 2012.06.06 දින රුපියල් මිලියන 11ක් සදහාවු ස්ථාවර තැන්පතුවක් ආරම්භකර ඇතත් එය පවත්වාගෙන ගොස් ඇත්තේ දින 07ක් දක්වා පමණක් බවයි.
මෙම ගිණුම සදහා ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 45ක් ටෙලිකොම් ආයතන අවස්ථා දෙකකදී මිලියන 17ක් මොබිටෙල් සමාගම මිලියන 05ක් නාවික හමුදා ක්‍රීඩා අරමුදල රුපියල් මිලියන 07ක් පීපල්ස් මර්චන්ට් ලීසිං සමාගම මිලියන 05ක් ක්‍රීඩා අමාත්‍යාංශය මිලියන 110ක් අපනයන සංවර්ධන මණ්ඩලය මිලියන 08ක් හා ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් 89.899ක් ලෙස රුපියල් මිලියන 190,387,249ක මුදලක් මෙම ගිණුමට තැන්පත් කොට තිබේ.
පෞද්ගලික අංශය ලෙස පර්පචුවල් ඇසට් මැනේජ්මන්ට් සමාගම රුපියල් මිලියන 15ක් ඔරික්ස් ලීසිං සමාගම රුපියල් මිලියන 10 ක් බ්‍රවුන්ස් සමාගම රුපියල් මිලියන 10ක් ඩයලොග් සමාගම මිලියන 05ක් කාර්ගිල්ස් සමාගම මිලියන 15ක් ආදී ලෙස පෞද්ගලික සමාගම් 31 රුපියල් මිලියන 282,536,246ක් මෙම ගිණුමේ තැන්පත් කර ඇත.
එමෙන්ම චෙක්පතු ලෙස මිලියන 107,019,387 සහ විවිධ පුද්ගලයින් විසින්ද නම් සදහන් නොවන පුද්ගලයින් විසින්ද මෙම ගිණුමට රුපියල් මිලියන 93,621,500 තැන්පත් කර ඇත.
මෙම ගිණුමේ පැවැති රුපියල් මිලියන 708ක් මුදල වියදම්වූ අකාරය සොයා බැලීම සදහා ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසමක් ආරම්භ කිරීමට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා අවධාරණය කලේය.