බැඳුම්කර මගඩිය ගැන කබීර් සහ මලික්ගෙන් පුංචි සාක්ෂියක්
- RSL
- October 12, 2017
- උණුසුම් පුවත්, විමර්ශන
- Bond scam, kabir hashim, Malik Samarawickrama
- 0 Comments
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සාක්ෂි ලබාගැනීම සඳහා ඊයේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරුන් මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබූ අතර එහිදී අමාත්‍යවරුන් දෙදෙනාගේම සාක්‍ෂියට විනාඩි 10 ක් වත් ගතනොවුණි. ඒ කෙටි කාල සීමාව තුළ ඔවුන් කළේ සභාපති විනිසුරු ඇසූ ප්‍රශ්න කීපයකට පිළිතුරු දීමය. ඒ අතර කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතාද ප්‍රශ්න කීපයක් ඇසුවේය.
මහා මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලට සම්බන්ධ වූ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට සහ මාර්ග ඉදිකිරීම් කටයුතු ඇන හිටීමකින් තොරව දිගටම කරගෙන යැමට රුපියල් බිලියන 15 ක් පමණ හදිසියේ අවශ්‍ය වී තිබුණා. නමුත් මෙම මුදල සොයාගත යුත්තේ කෙසේද යන්න ගැන හෝ පසුදින පැවැත්වීමට නියමිතව තිබූ බැඳුම්කර වෙන්දේසිය ගැන මහ බැංකුවේ හිටපු අධිපති හෝ නිලධාරීන් සමග කිසිවක් සාකච්ඡා කළේ නැතැයි රජයේ අමාත්‍යවරුන් වන කබීර් හෂීම් හා මලික් සමරවික්‍රම යන මහත්වරු ඊයේ (11 දා) බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පැවසූහ.
ශ්‍රී ලංකා මහ බැංකු මූලස්‌ථානයේදී 2015.02.27 දින මෙම උදැසන රැස්‌වීම පැවැති අතර ඊට පසු දින ඉමහත් ආන්දොaලනයට තුඩුදුන් භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසිය පැවැත්වීමට නියමිතව තිබිණි.
එහෙත් මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් යන අමාත්‍යවරුන් දෙදෙනාම ප්‍රකාශ කළේ අරමුදල් අවශ්‍යතාව ගැන සාකච්ඡා කළ 2015.02.26 දින මහ බැංකුවේ පැවැති රැස්‌වීමේදී ඊටපසු දින (27 දා) පැවැත්වීමට නියමිතව පැවැති භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසිය ගැන කිසිවක් සාකච්ඡා නොවූ බවයි.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් සහ සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවීර යන මහත්වරුන් ඊයේ සාක්‍ෂි දීමට පැමිණ සිටියේ කොමිසම කළ දැනුම් දීමකට අනුව බව කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා එහිදී ප්‍රථමයෙන්ම දැනුම් දුන්නේය.
කොමිසම හමුවේ මෙතෙක් සාක්‍ෂි දුන් සෙසු සාක්‍ෂිකරුවන්ගේ සාක්‍ෂි මෙහෙයවීම කරනු ලැබුවේ නීතිපති දෙපාර්තමේන්තුවට අනුයුක්‌ත නීතිඥ කණ්‌ඩායම හෝ එම සාක්‍ෂිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසිනි. එහෙත් අමාත්‍යවරුන්ගේ සාක්‍ෂි මෙහෙයවනු ලැබුවේ ප්‍රධාන වශයෙන්ම කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා විසිනි.

