ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුවේ මුල් පුටුව ලැබ්බ්‍රොයිට..?

Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුවේ නව සභාපතිවරයා වශයෙන් හිටපු ටෙස්‌ට්‌ ක්‍රීඩක ග්‍රැහැම් ලැබ්බ්‍රොයි මහතාව පත්කරනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

සනත් ජයසුරියගේ ක්‍රිකට්‌ තේරීම් කමිටුව ඉවත්වීමෙන් පසුව නව ක්‍රිකට්‌ තේරීම් කමිටුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් හිටපු ක්‍රීඩකයන් දහදෙනකුට ආසන්න ප්‍රමාණයක්‌ නම් කළ අතර ඒ අතරින් වඩාත්ම සුදුස්‌සා බවට ග්‍රැහැම් ලැබ්බ්‍රොයිව තෝරාගත් බව ඉතාමත් විශ්වාසදායී ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

හිටපු ක්‍රිකට්‌ නායක මෙන්ම තේරීම් කමිටු සභාපතිවරයකු වු අරවින්ද ද සිල්වා මහතාටද ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපති තනතුර භාරදීමට යෝජනා කළද ඔහුට ක්‍රිකට්‌ කමිටුවේ සභාපතිවරයා ලෙස තවත් තනතුරක්‌ යෝජනා කර තිබීම හේතුවෙන් ලැබ්බ්‍රොඅයිට අදාළ තනතුර හිමිව ඇතැයි සඳහන් වේ.

මේ අතර සිව්දෙනකුගෙන් සමන්විත ක්‍රිකට්‌ තේරීම් කමිටුවට අසංක ගුරුසිංහ සහ ගාමිණී වික්‍රමසිංහ යන හිටපු ක්‍රීඩකයන්වද ඇතුළත් කර ඇතැයි තවදුරටත් සඳහන් වේ. තවත් එක්‌ සාමාජිකයකු ඉදිරි දින කිහිපයේදී නම් කිරීමට නියමිත අතර අදාළ තේරීම් කමිටුව නිල වශයෙන් ලබන 18 වැනිදා ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සඳහන් කර සිටියි.

ග්‍රැහැම් ලැබ්බ්‍රොඅයි 1986/1991 වකවානුවේ ශ්‍රී ලංකාව නියෝජනය කළ දක්‍ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. ඔහු ටෙස්‌ට්‌ තරග නවයකදී පිතිකරුවකු ලෙස එක්‌ අර්ධ ශතකයක්‌ සමග ලකුණු 158 ක්‌ සහ කඩුලු 27 ක්‌ දවාගෙන තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියෙන් විශ්‍රාම යැමෙන් පසු ලැබ්බ්‍රොයි තරග තීරකවරයකු සහ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගේ සංගමයේ සාමාජිකයකු වශයෙන්ද ක්‍රියාකරමින් අත්දැකීම් ලබා තිබේ. අදාළ පත්වීම් නිල වශයෙන් ප්‍රකාශ කිරීමට තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සාකච්ඡා පවත්වන බව වැඩිදුරටත් සඳහන් වේ.

RSL

Related Posts