2012 අය-වැය ඉදිරිපත් කිරීමට සුදානම්

Spread the love

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙවනවර ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඉදිරිපත් කෙරෙන දෙවන අය-වැය ‍ලේඛනය අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පාර්ලි‍‍මේන්තුව අද පස්වරු 1.50ට රැස්‍වන අතර මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමා අද පස්වරු 1.55ට අය-වැය කතාව ආරම්භ කරනු ඇත.

අය-වැය දිනය වශයෙන් සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන, එසේ නැත්නම් විසර්ජන පනත්‍ කෙටුම්පත දෙවන වර කියවන දිනයේ දී සමාජයේ සියලුම අංශ අය-වැය යෝජනා ප්‍රකාශයට පත් කරන තෙක් බලා සිටිති. මුදල් අමාත්‍යවරයා, රිබන් පටියකින් ගැටගැසූ තම බ්‍රීෆ් කේසය සභා ගර්භයට රැගෙන එයි. අය-වැය යෝජනාවල රහස්‍ය බව එමඟින් සංකේතවත් කෙරේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසර්ජන පනත් කෙටුම්පත ලෙස හඳුන්වන ලේඛනයට භාවිත වන ජනප්‍රිය යෙදුම ‘අය-වැය’ යන්නයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන වෙනත් ඕනෑ ම පනත් කෙටුම්පතක් සේ ම, අය-වැය ද පළමුවන, දෙවන සහ තුන්වන වර කියවනු ලැබීමෙන් අනතුරු ව එම කියවීම් වාර තුනේ දී ම සභා සම්මත වූ පසු නීතිය බවට පත්වේ. පාර්ලිමේන්තුවේ දී එසේ සම්මත වීමෙන් පසු ව 2012 ජනවාරි 01 වන දා සිට එය ක්‍රියාත්මක වේ. ජනවාරි 01 වන දිනෙන් ආරම්භ වන එම ලිත් වර්ෂය තුළ පොදු සේවාවන් සඳහා ප්‍රතිපාදනය කරන ලද මුදල් වැය කිරීමට මෙමගින් රජයට බලය ලැබේ.

2012 සඳහා වන විසර්ජන පනත් ‍කෙටුම්පත ‍පසුගිය ඔක්තෝබර් 19 වැනි දා පාර්ලි‍මේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා විසිනි. මෙවර අයවැය සකස් කිරීමේ දී විවිධ සමාජ කණ්ඩායම් 2500ට වැඩි පිරිසකගේ අදහස් ලබා ගැණුනු අතර රැස්වීම් වාර 56ක් පැවැත්වීම ද විශේෂත්වයකි. මේ අනුව ඉතිහාසයේ ප‍්‍රථම වරට පුළුල් ජනතා සහභාගිත්වයෙන් යුතු අය-වැයක් මෙවර ඉදිරිපත් කෙරේ.

ජනාධිපතිතුමා 2012 අයවැය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු 22 දා දෙවන වර කියවීමේ විවාදය ආරම්භ වේ. අයවැය කාරක සභා විවාද අවස්ථාවලින් පසු දෙසැම්බර් 21 දා ඡන්ද විමසීම සිදු කෙරේ.

Loading...

RSL

Related Posts