රාජ්‍ය හා පෞද්ගලික අංශය තුල රැකියාවක නිරතවීමට අවස්ථාව අහිමි වූ හෝ අකමැති බහුතරයක් කුමන හෝ ස්වයං රැකියාවක නිරතවීම අපේක්‍ෂා කරති. ස්වයං රැකියා සදහා අද අන් කවරදාකටවත් වඩා හොද ආකර්ෂණීය ඉඩ ප්‍රස්ථා බිහිවී ඇත.
එදා ලෑලිකඩ, පෙට්ටි කඩ හා පා පැදි වෙනුවට කුඩා ලොරි හෝ දර්ශණීය ලෙස සකසාගත් ත්‍රී රෝද රථ ඇසුරෙන් විවිධ තරාතිරමේ අය අලෙවි කටයුතු වල නිරතවන ආකාරය අපට දැකිය හැකිය. මේ හේතුව මත ඔවුන් අරඹයා කෘෂි බෝග ඇසුරෙන් නිපදවන ආහාර සැපයීමට සැපයුම්කරුවන්ද බිහිවෙමින් සිටිති. මොවූහු බොහෝවිට සුළු පරිමාණ / Small- Scale නිෂ්පාදකයෝ වෙති.
කෘෂි බෝග ඇසුරුකරගත් බහුවිධි ආහාර නිෂ්පාදන ව්‍යවසායකයින් Agri-Base Food Product Entrepreneurs හට වෙළදපොළට අවතීර්ණවීමේදී නිරතුරුවම විවිධ ගැටලු වලට මුහුණ පෑමට සිදූවේ. සාමාන්‍යයෙන් බහුතරයක් වූ මෙම පිරිස ස්වකීය ව්‍යාපාරය පවත්වාගෙන යාමේ දී සාපේක්‍ෂ වශයෙන් මූල්‍යමය ගැටලු මත අසරණභාවයට පත්වීම දැකිය හැකිය. එහෙයින් නිෂ්පාදන කාර්යයන් සඳහා ආයෝජනය කරනුයේ සුළු මුදලකි. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ පහළ මට්ටමේ නිෂ්පාදකත්වයක් / Low productivity සමඟ වූ අඩු නිෂ්පාදන / Low production යයි.
කෘෂි බෝග ඇසුරු කරගත් විවිධ ආහාර නිෂ්පාදනයේ නිරත වන සුළු පරිමාණ ව්‍යවසායකයින් බහුතරයක් ස්ථාපනය වී ඇත්තේ නාගරික ප්‍රදේශ වලින් බැහැර වූව ද ඔවුන්ගේ අභිලාශය නාගරික වෙළදපොළ වෙත ප්‍රවිශ්ඨවීම තුළින් සිය නිෂ්පාදන අළෙවිකර ගැනීම ය. ඇතැම් සුළු පිරිසක් ප්‍රසිද්ධ සිද්ධස්ථාන හෝ කාලීනව සංචාරකයින් සැරිසරන ප්‍රදේශ සිය අලෙවි කළාප ලෙස තෝරාගෙන ඇති ආකාරය ද හඳුනාගත හැකිය. එයට ප්‍රබල හේතු කාරකයවී ඇත්තේ සිය කර්මාන්තය උදෙසා පහසුවෙන් කෘෂි බෝග අස්වනු මිලදී ගැනීමට ඇති හැකියාව යි. එයම පාදක කරගෙන ගූණාත්මය පසෙකලා ප්‍රමාණාත්මකව අපිරිසිඳු අස්වනු ඔවුන් වෙත සැපයීම සඳහා ගොවීන් පෙළඹෙන අතර ඒ උදෙසා අඩු ලන්සු වටිනාකමක් තීරණය කිරීමට ගැණුම් ව්‍යවසායකයින් යොමුවන හෙයින් කණගාටුදායක චක්‍රිය ක්‍රියාදාමක් ඔවුන් වටා ගොඩනැගීම නොවැළැක්විය හැකි වේ.
එසේ ම කෘෂි යෙදවුම් ණය පදනම මත සපයා බෝග නිෂ්පාදන ප්‍රතිරැස්කිරීමේදී ඒ සඳහා පහළ අගයන් තීරණය කර මිලදී ගැනීම මත කෘෂි බෝග නිෂ්පාදකයින්, සීමාකාරී සාධක තුළ රඳවා තබා ගැනීම නිසා බාහිර ගැණුම්කරුවන් හට එකී නිෂ්පාදන ම්ලදී ගැනීමට ඇති ඉඩකඩ අහුරා තිබීම ද මේ සඳහා බලපා ඇත. මෙයට හේතු කාරකව ඇත්තේ තවමත් ඈත ගම්දනව් වල කෘෂි බෝග නිෂ්පාදකයින් වෙත වෙළඳපොළ විභවය හෝ පාරිබෝගික ඉල්ලීම් විචල්‍යවන ආකාරය පිළිබද වැටහීමක් හෝ ඒ පිළිබඳව අදාළ තොරතුරු සබෑ ලෙස සංනිවේදනය වීම දූර්වල මට්ටමක පැවතීමයි. ඒ උදෙසා බලපා ඇති අනෙක් ප්‍රබල හේතු සාධකයක් වී ඇත්තේ නිෂ්පාදනයන් හඳූනාගත් එක් පුද්ගලයෙකුට පමණක් තොග වශයෙන් අලෙවි කිරීමට ගොවීන් කටයුතු කිරීම වේ. මෙකී හේතුකාරක මත සුන්‍දා පරිමාණ ආහාර සැකසුමිකරුවන් තම නිෂ්පාදන සදහා අවශ්‍ය යෙදවුමි ම්ලදී සපයා ගැනීමට විශාල වියපැහැදමක් දැරිය යුතු වේ.
අනෙක් අතට කෘෂි බෝග නිෂ්පාදකයින් මේ උදෙසා පෙළඹී ඇත්තේ මක්නිසා ද යන්න විමසා බැලීම අපගේ යුතුකම විය යුතුය. ඈත ගම්දනව් වල පහළ මට්ටමේ යටිතල පහසුකම් මත වූ දූර්වල ප්‍රවාහන පද්ධති / Poor Transport Infrastructure යටතේ නිෂ්පාදනය කරනු ලබන කෘෂි අස්වනු සඳහා ආර්ථික වටිනාකමක් නොලැබෙනු ඇත. බහුතරයක් වූ නිෂ්පාදන ප්‍රදේශ සෘජුවම ප්‍රසිද්ධ වෙළඳපොළ හෝ අලෙවි මධ්‍යස්ථාන සමග සෘජු ලෙස සම්බන්ධ නොවන හෙයින් මෙම තත්වය තවත් තීව්‍රර වී ඇත. රජය විසින් ගෙන ඇති පුළුළ් මාර්ග සංවර්ධන ක්‍රියාදාමය මෙම තත්වය ඉදිරි වසර පහ තුළ දී මුළුමනින්ම වෙනස් කරලීමට ඉවහල්වනු ඇතැයි සිතිය හැකිය.
දේශගුණ විපර්යාස / Climate change සුළු පරිමාණ කෘෂි නිෂ්පාදකයන් කෙරෙහි දැඩි බලපෑමක් එල්ලකිරීම හේතුවෙන් ඔවුන්ගේ නිෂ්පාදකත්වය අවම හෝ ශූන්‍ය කිරීම කෙරෙහි මෙන්ම හා ස්වකීය ආත්ම අභිලාශයන් පහත හෙලීමටද හේතුකාරක වනු ඇත. විශේෂයෙන්ම වර්ෂාපතනය මත ක්‍ෂේත්‍ර කටයුතු වල නිරතවීම හා වැව් හා ජලාශයන්හි ජල පරිමාවන් නොසලකා වගා වපසරිය නිගමනය කිරීම මෙම තත්වයන් තව තවත් තීව්‍රර කිරීමට සමත්වී ඇත.
කෘෂි බෝග මත ආහාර ද්‍රව්‍ය නිෂ්පාදන සැකසීමේ කර්මාන්තයන්හි නිරත බහුතරයක් වූ සුළු පරිමාණ ව්‍යවසායකයින් සෘජුවම සුළු පරිමාණ සැපයුම්කරුවන් කෙරෙහි වූ බලාපොරොත්තු ඉවතලන්නේ ඔවුන්ගේ සැපයුම් ක්‍රමවේදය වරින්වර අසාර්ථකවන හෙයිනි. එහෙයින් මේ සදහා වඩා සාර්ථක පිළියම වන්නේ සුළු පරිමාණ බෝග නිෂ්පාදක ගොවීන්ගේ අස්වනු එක්රැස්කර අඛණ්ඩව හඳූනාගත් ව්‍යවසායකයින් වෙත සැපයීම සදහා හොඳ සංවිධානාත්මක සැපයුම් ක්‍රමවේදයක් (විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වලින් බැහැරවූ) ගොවීන් විසින්ම පිහිටුවා ගැනීමයි. එසේම ඒ සඳහා දිගු කාලීන අනෝන්‍ය අවබෝධතා ගිවිසුම් ඇතිකර ගැනීම දෙපාර්ශ්වය අතර හොඳ ශක්තිමත් බැඳීමක් ගොඩනඟා ගැනීමට හේතුකාරක වනු ඇත.
කෘෂි තාක්ක්‍ෂණික තොරතුරු /Information of Agro-technology, අලෙවිකිරීමේ විනිවිදභාවය / Transparency of Sales හා ගණනය කිරීමට ඇති හැකියාව / Accountability මෙම ක්‍රමවේදයේ ප්‍රධාන සාධක වනු ඇත. ගැනුම්කරුවන්, අලෙවිකරුවන්, සැකසුම්කරුවන් හා නිපැයුම්කරුවන් අතර පුළුළ් වේදිකාවක් ජාතික මට්ටමිින් ගොඩනැඟීම සුළු පරිමාණ කෘෂි ව්‍යාපාර සංවර්ධනය කිරීමෙහි ලා විශාල පිටුබලයක් වනු ඇත. අනෙක් අතට ආහාර සැකසුම් කර්මාන්ත සඳහා අවශ්‍ය තරම් කෘෂි නිෂ්පාදන මෙරට තුළ නිෂ්පාදනය නොකිරීමද එම ක්‍ෂේත්‍රයේ සංවර්ධනයට බාධා පැමිණ වීමට එක් හේතු සාධකයකි. සුළු පරිමාණ කෘෂි නිෂ්පාදකයින් විසිරී සිටීම හා ඔවුන්ගේ නිෂ්පාදනයන් ද පහළ පරිමාවක පැවතීම මෙම තත්වය වඩාත් බැරූරුම් කිරීමට හේතු සාදක වී ඇත. ප්‍රාදේශීය විශේෂතා පදනම් කරගෙන ඉතා හොඳින් සංවිධානාත්මකව වාණිජ මට්ටමින් ගොවිතැන් කිරීමට ගොවීන් යොමුවන්නේ නම් දෙපාර්ශ්චයේම ආර්ථිකය පුළුළ් පරාසයකට විහිදී ශක්තිමත් වීමට එයම හේතු කාරක වනු ඇත. ඒ තුළින් ඉහත දූෂ්කරතා යම් තරමකට හෝ ජයගත හැකි වේ.
එසේ නොවුණහොත් වෙළඳපොළ අවශ්‍යතාවයන් හා පාරිබෝගික ඉල්ලුම පිළිබඳව අනවබෝධය හේතුවෙන් බොහෝ කෘෂි නිෂ්පාදන අලෙවිකරගත නො හැකි වන අතර ම අතිරික්ත නිෂ්පාදනයන් අකමැත්තෙන් හා අවේගශීලීව විනාශකර දැමීම කෙරෙහි යොමු වීමට ගොවීනට සිදූවනු ඇත. මෙම ප්‍රවණතාවයන් අවම කරගැනීම සඳහා දේශපාලන ගැත්තන් නොවී ගොවීන් සංවිධානශීලී නිර්මාපකයින් බවට පත්විය යුතුවේ. සුළු පරිමාණ සැකසුම්කරුවන් තම ආසන්නතම කෘෂි බෝග නිෂ්පාදකයින්ගේම නිපැයුම් මිලදී ගැනීම කෙරෙහි උත්සුකවිය යුතු අතර ඒ සදහා ඔවුන් තුළ විශ්වාශයක් ද ජනිත කළ යුතුවේ. ඒ උදෙසා වෙළදපොළ තුළ දැනට පවතින හා අනාගත ප්‍රවණතා පිළිබඳව අනෝන්‍ය අවබෝධයක් ගොඩනඟා ගැනීමට හා තොරතුරු හුවමාරුකර ගැනීම කෙරෙහි ඔවුන් යොමුවිය යුතුම ය.
රාජ්‍ය අංශයේ විවිධ ආයතන රැසක් කෘෂිකර්මාන්තය, කෘෂි නිෂ්පාදන සැකසීම හා නව ව්‍යවසායකත්ව හඳුන්වාදීම සඳහා ස්ථාපිතකර තිබුණ ද නාගරික ප්‍රදේශවලින් බැහැර වූ පුද්ගලයින්හට එවැනි ආයතන වෙතම පැමිණ අදාළ පුහුණුවීම් සදහා ඇති හැකියාව සීමා සහිත වේ. එහෙයින් මේ සඳහා දැනටමත් වෙළඳපොළ වෙත අවතීර්ණවී ඇති පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින් හා පුළුළ් පදනමක පිහිටා නව ව්‍යවසායකයින්හට මාර්ගෝපදේශකත්වය ලබාදීම සඳහා ඉඩ ප්‍රස්ථා විවරකරදීමට කාලය එළඹ ඇත. සැබෑ ජාතික හැඟීමකින් කටයුතු කිරීමට බොහෝ නිලධාරීන් නොපෙළඹීමට යල්පීනූ විවිධ රෙගුලාසි හා අණ පනත් බලපා ඇතැයි අනුමාන කළ හැකිය.
බොහෝ අවස්ථාවන්හිදී කෘෂි බෝග මත පදනම්වූ සුළු පරිමාණ සැකසුම් කර්මාන්ත ස්ථාපනය සඳහා අදාළ දැනුම තිබුණ ද ඒ උදෙසා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මෙරටතුලින් සපයා ගැනීමට නො හැකි අවස්ථා විරල නොවේ. එවන් අවස්ථාවන් හි දී ආසන්නතම විදේශ වෙළඳපොළ වෙත ප්‍රවිශ්ඨව මිල දී ගත හැකි වුව ද ආනයන බදු වර්ග හා ප්‍රවාහන වියපැහැදම ඉහළ මට්ටමක පැවතීම නව ව්‍යවසායකයින් අධෛර්යමත් කිරීමට බලපා ඇත. එමෙන්ම සුළු පරිමාණ කෘෂි ආහාර සැකසුම් ඒකක ස්ථාපනයකර ගැනීමට අදාළ වූ පහසුකම් සම්පාදනය සඳහා අරමුදල් සපයා ගැනීමට අසීරු වීම ඒ සඳහා උනන්දූවක් ඇති පුද්ගලයින්ගේ අභිලාශයන් හීන කිරීමට ඉවහල් වන ප්‍රබල සාධකයකි. එහෙයින් කෘෂි බෝග ආශ්‍රීත ආහාර නිෂ්පාදන සැකසීමේ කර්මාන්ත ස්ථාපනය කර ගැනීම උදෙසා ම අරමුදල් සම්පාදනය කරනු ලබන මූල්‍ය ආයතන (වාණිජ බැංකු නොවන) රජය විසින් පිහිටුවීමට කටයුතු කිරීම මෙම ක්‍ෂේත්‍රයේ ප්‍රගමනයකට හේතුකාරක වනු ඇත.
යම් යම් වකවානු වල දී රජයයන් විසින් සහනාධාර ක්‍රියාත්මක කරනුයේ තෝරාගත් බෝග සඳහා වුව ද එය සෑම බෝගයකටම අදාළ වන පරිදි එහි වගා වපසරිය පිළිබඳව සලකා බලා ඒ සදහා සමානුපාතික සහනාධාර ක්‍රමයක් (ඉතා උසස් රෝපණ ද්‍රව්‍ය සපයාදීම, පොහොර සම්පාදනය හෝ නිෂ්පාදන මිලදී ගැනීම) ක්‍රියාත්මක කිරීම කාලෝචිත වේ. එසේම කාලීනව කෘෂි බෝග නිෂ්පාදන පිළිබඳව සත්‍යවාදී වූ ද නිරවද්‍ය වූ ද ඇස්තමේන්තු සකසා එළිදරව් කිරීම විශ්වාසවන්ත නිෂ්පාදනයක් කෙරෙහි වූ හොඳ විභවයක් ගොඩනැඟීමට හේතු සාධකවන අතර එය කෘෂි ආර්ථිකය සැලසුම්කරන ඉහළ ම ක්‍ෂේත්‍රයන්හි නිරත රාජ්‍ය නිලධාරීන්ට වඩාත් යෝග්‍ය කාලීන වූ කෘෂිකාර්මික ප්‍රතිපත්ති සැලසුම් කිරීමට මෙන් ම නිෂ්පාදන කටයුතුවල නිරතවන ගොවීන්ට ඒ අනුව නිෂ්පාදන ඉලක්ක තෝරා ගැනීම සඳහා ද ඉතා වැදගත් හේතු සාධකයක් වනු ඇත.
(මෙම ලිපි පෙළ මෙම වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්වන්නේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය DevPro ආයතනයේ මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරන SMEs කාන්තා ව්‍යවසායිකාවන් ප්‍රවර්ධන කිරීමේ වැඩසටහනේ සහ එහි සන්නවේදන ක්‍රියාකාරකමක් වන SMEs Guide SL වෙබ් අඩවිය සහ SMEs Guide SL සඟරාවේ අනුග්‍රහයෙනි. මෙහි අන්තර්ගතයට අදාළ ආයතන වග නොකියන අතර අන්තර්ගතයේ සම්පූර්ණ වගකීම අදාළ ලේඛකයා සතුවේ – සංස්කාරක)
සටහන – එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ