“ සදාචාරාත්මක ජනහිතවාදී දේශපාලන සංස්කෘතියක් අපි කවදා හරි ගේනවා “ යැයි සරත් ෆොන්සේකා මහතා පවසයි. ඒ මහතා මෙසේ පැවසුවේ කොළඹ මහාධිකරණයේ විභාග වන හයිකෝප් නඩුවට ඊයේ(02) පැමිණ අධිකරණයෙන් පිටවෙද්දි මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
“ අර මට ඉඩිඅමින්, හිට්ලර් කිව්ව බෝධිසත්ත්වයා දැන් මමයි මගේ පවුලෙනුයි පලිගන්නවා. මේ දූෂිත දේශපාලන සංස්කෘතිය ඉවර කරලා සදාචාරාත්මක ජනහිතවාදී සංස්කෘතියක් අපි කවදා හරි ගේනවා ජනතාව ඒ පැත්තට අපට එකතු වෙන්න. මේ රටේ තියෙන ක්‍රමය වෙනස් කරේ නැත්නම් ජනතාවට හැමදාම වහල්ලු වගේ ඉන්න වෙයි. ජයවේවා. ජනතාව විසින් දේශපාලඥයෝ පාලනය කරන ක්‍රමයක් මේ රටට අපි කවදා හරි ගේනවා. යුද්ධය දිනපු අපට දේශපාලඥයන්ට රට හූරාකන්නට ඉඩ දෙන්න බැහැ ”
ඊයේ දිනයේ සිදු කෙරුණේ දෙවන යුධ අධිකරණය හමුවේ පැවති නඩු විභාගයේදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ලබාදුන් සාක්ෂිකරුවන්ගේ සාක්ෂි පිටපත් ඉදිරිපත් කිරිමය.
ඒ අනුව සාක්ෂිකරුවන් හතරදෙනෙකුගේ සාක්ෂි, පිටපත් අද මහාධිකරණයට ඉදිරිපත් කෙරිණි. විත්ති පාර්ශවය විසින් එලෙස සාක්ෂි පිටපත් ඉදිරිපත් කළේ මහාධිකරණයේ විභාග වන නඩුවට අදාළ කරුණු සහ දෙවන යුධ අධිකරණයේ විභාග වූ නඩුවේ කරුණු එක සමාන බව සනාථ කිරීමටය. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව එක සමානව නඩු දෙකක් අධිකරණ දෙකකදී විභාග කිරීම රටේ නීතියට පටහැනි බව විත්තියේ මූලීක විරෝධය විය.