සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (21) නිවේදනය කළාය.
පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව කියා සිටියාය.
සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් ඇය කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය පිහිටුවීමට ගත් තීරණයට තමන් විරුද්ධ බවයි.
සජිත් ප්‍රේමදාස දේශපාලන සියදිවි නසාගෙන ඇතැයි ඇය කීවාය.
එක්සත් ජාතික පක්ෂයේ (එජාප) හිටපු මහ ලේකම්වරයෙකු වූ, අභාවප්‍රාප්ත ගාමිණී අතුකෝරළ මහතාගේ සොහොයුරිය වන තලතා අතුකෝරළ ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 2004 වසරේදීය. ඇය 2010, 2015, සහ 2020 මහ මැතිවරණ වලදී රත්නපුර දිස්ත්‍රික්කයෙන් නැවත තේරී පත්වූවාය.
2020 මහ මැතිවරණයේදී ඇය රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඡන්ද 45,105ක් ලබා ගනිමින් සමගි ජන බලවේගයේ (SJB) මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවේ සිය ආසනය තහවුරු කර ගත්තාය.
අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අතුකෝරල මහත්මිය මෙසේ ද පැවසුවාය.
“මෙය මට ඉතා සංවේදී අවස්ථාවක්. එක පැත්තකින් අපේ ‘මව් පක්ෂය’ – එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා. එම පක්ෂයේ නායකයා සහ හිටපු නියෝජ්‍ය නායකයා යන දෙදෙනාම දේශපාලන සතුරන් බවට පත්ව සිටිනවා. දෙදෙනාම ජනාධිපති වීමට තරඟ කරනවා. හැමෝම එකතු වෙන්න හදන වෙලාවක අපේ කඳවුර බෙදිලා වෙනම තරග කරන්න ගත්ත තීරණයට මට මුළු හදවතින්ම එකඟ වෙන්න බැහැ.”
“නායකයන් දෙදෙනා වෙන් වී තරග කිරීමට ගත් තීරණය රටේ අනාගතය ගැන නොසිතා ගත් ආත්මාර්ථකාමී දේශපාලන තීන්දුවක් බව මම විශ්වාස කරනවා. ඒ බව නුදුරු අනාගතයේදීම ඉතිහාසය සනාථ කරනු ඇති. මම තවදුරටත් ඒ ගැන නිහඬව සිටියොත් මමත් ඒ පාපයට වක්‍ර දායකයෙක් වෙනවා. මම කවදාවත් මගේ දේශපාලන ගමන නවත්වන්නේ නැහැ. ඒ බව මම මේ මොහොතේ ආඩම්බරයෙන් සහ ධෛර්යයෙන් කියනවා. මගේ මන්ත්‍රී ධුරය අත්හැරීම ගැන මට කිසිම කනගාටුවක් නැහැ. අද මම ඒ තීරණාත්මක අවස්ථාවට මුහුණ දී සිටින අතර මම මේ බව පාර්ලිමේන්තුවට දන්වන පළමු අවස්ථාව මෙයයි.
“සමගි ජන බලවේගයේ අපේක්ෂකයෙක් විදියට මම දිනුවත් පක්ෂය දෙකඩ වෙනවාට මම කැමති නැහැ, අනාගතය ගැන නොසිතා එදා අපි ගත්ත තීරණය නිවැරදි තීරණයක් දැයි මම තවමත් කල්පනා කරනවා. අපේ මහා පක්ෂය දෙකඩ කිරීමට මම දායක වුණාද කියන සිතුවිල්ල මට ලැබුණු මන්ත්‍රී ධූරයේ සතුටට වඩා දුකක් දැනෙනවා.”