සංචරණ සීමා පනවා ඇති දිනවල ආර්ථික මධ්‍යස්ථාන වසා දැමුවත් ‘ගොවීන්ට හා පාරිභෝගිකයින්ට’ පීඩාවක් නෑ

Spread the love

ගොවිජනතාව සහ පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමට අපි කැප වෙනවා – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ

දිවයින පුරා දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක වන දිනවල ආර්ථික මධ්‍යස්ථා වසා දැමීමට පියවර ගත්ත ද ගොවිජනතාවට සහ පාරිභෝගික ජනතාවට කිසිම අපහසුතාවක් ඇති නොවන ආකාරයට එළවළු හා පලතුරු සැපයුම නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ පසුගිය සංචරණ සීමා කාලයේ මුහුණ දුන් අත්දැකීම්ද පදනම් කරගෙන නව වැඩපිළිවෙළ සකස්කර ඇති බවයි.

අද (19) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ දී පැවති මාධ්‍ය හමුවේදී කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැහැදිලි කළේය.

මෙම මාධ්‍ය හමුව අමතා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේද පැවසීය,

 ‘‘පවතින කොවිඩ් වසංගතය සමග අපේ ගොවීන්ගේ නිෂ්පාදන වෙළෙදපොළට ගෙන ඒම සහ ඒවා පාරිභෝගිකයින් වෙත වඩාත් කාර්යක්ෂමව ගෙන යාම සදහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමුව තිබෙනවා. පසුගිය සති අන්තයේ  පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් විවිධ නීති පැනවූ විට ගොවීන් තමන්ගේ නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථානවලට අරගෙන ඇවිත් අපිට විවිධ චෝදනා එල්ල කළා.

නමුත් අපි පැහැදිලිව අපේ ආර්ථික මධ්‍යස්ථාන දැනුවත්කර තිබුණා මේ වකවානුව තුළ අපේ ආර්ථික මධ්‍යස්ථාන වසා දමනවා කියලා. නමුත් ඒ පණිවුඩය ගොවීන්ට ගිහිල්ලා තිබුණේ නැහැ. ඒ නිසා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන කිහිපයකට ගොවීන් තම නිෂ්පාදන ගෙනත් ලා තමන්ගේ නිෂ්පාදන අලෙවිකර ගන්න නොහැකිව විශාල චෝදනා එල්ල කළා.

ඒ නිසා රජය එළඹෙන සිකුරාදා සිට එක් දිනයක් හැර දින හතක් මුළු රටටම දැඩි සංචරණ නීති පනවලා තිබෙනවා. ඒ නිසා මේ කාලය තුළ ගොවීන්ට තමන්ගේ නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථානවලට ගේන්න නොහැකි වෙනවා. ඒ නිසා අපි දන්නවා කෘෂිකර්ම අමාත්‍යාංශය හැටියට අපි කලින් ගොවීන්ට දැනුම් දීමක් කළොත් ගොවීන්ට පුළුවන් තමන්ගේ අස්වැන්න ඒ දවස් වල නෙළන්නේ නැතිව ඉන්න.

මේ තත්ත්වය තුළ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය විසින් ආර්ථික මධ්‍යස්ථාන සම්බන්ධීකරණය කරමින් ගොවීන් සහ පාරිභෝගිකයා යන දෙපාර්ශ්වයම ආරක්ෂා කරන වැඩපිළිවෙළක් සකස් කරලා තිබෙනවා. ඒ නිසා අපි සමස්ත ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා අපි දින කිහිපයක් ආර්ථික මධ්‍යස්ථාන වසා දමනවා ඒ නිසා එම වසා දමන දිනවල තමන්ගේ කෘෂිකාර්මික නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථානවලට රැගෙන එන්න එපා කියලා. මොකද ඔබ අපේ අවවාදය පිළිනොගෙන කෘෂිකාර්මික නිෂ්පාදන රැගෙන ආවොත් ඔබට ඒවා විකුණා ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා මේ දින කිහිපය තුළ තමන්ගේ නිෂ්පාදන නෙළන්නේ නැතිව ඉන්න. එසේ කළා කියලා ඔබට ප්‍රශ්නයක් නැහැ.

ඒ නිසා අපි අපේ ගොවිජනතාවට ඉතාම පැහැදිලිව කියනවා දීප ව්‍යාප්තව දැඩි සංචරණ සීමා පනවන දිනවල අපි අපේ ආර්ථික මධ්‍යස්ථාන වසා දමනවා. ඒ වගේම අපි පැහැදිලිව කියන්නේ අපි ආර්ථික මධ්‍යස්ථාන වසා දමන්නේ දින දෙකයි හෝ තුනයි. මේ නිසා කිසිම පාඩුවක් ගොවියට සිදුවන්නේ නැහැ.

ඒ නිසා අපි සමස්ත ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා කෘෂිකර්ම අමාත්‍යාංශය ලබා දෙන මේ මාර්ගෝපදේශ අනුව තමන්ගේ වැඩපිලිවෙළ ක්‍රියාත්මක කරන්න කියලා‘‘ යැයි කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේය.

ගොවිජනතාව සහ පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමට අපි කැප වෙනවා – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ

රටපුරා දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක වන දිනවල ආර්ථික මධ්‍යස්ථානවල ක්‍රියාකාරීත්වය සහ ගොවීන් කටයුතු කළ ආකාරය ගැන මෙහිදී පැහැදිලි කිරීමක් කළ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා,

‘‘ කෘෂිකර්ම අමාත්‍යතුමා පැහැදිලි කළ ආකාරයට අපට පසුගිය සංචරණ සීමා පැනවූ අවස්ථාවේ ක්‍රියාකළ අත්දැකීම් සමග කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් රටේ තිබෙන ආර්ථික මධ්‍යස්ථාන සියල්ල වසා තබන හා විවෘතව තබන වේලාවන් පිළිබද කාලසටහනක් සකස් කර තිබෙනවා. මේ සදහා මූලික අරමුණ වුණේ ගොවි ජනතාව සහ පාරිභෝගික ජනතාව අපහසුතාවට පත් නොවන ලෙස කටයුතු කිරීමයි.

පෑලියගොඩ මැනිං වෙළෙදපොළ ඇතුළු පොදුවේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන සදහා මේ කටයුත්ත ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වුණත් ඒ ඒ ආර්ථික මධ්‍යස්ථානවලට ස්වාධීනව තීරණ ගන්න හැකියාව තිබෙනවා.

ඒ අනුව මැයි 21 සිකුරාදා රාත්‍රී 11 සිට මැයි 25 වන අගගරුවාදා පෙරවරු 04.00 දක්වා සියලුම ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීමට අපි තීරණය කළා. ඒ වගේම මැයි 25 වැනි අගහරුවාදා පෙරවරු 04.00 සිට එදින රාත්‍රි 11.00 දක්වා ආර්ථික මධ්‍යස්ථාන විවෘත තබනවා. නැවත මැයි 25 වැනි අගහරුවාදා රාත්‍රි 11 සිට මැයි 28 වන සිකුරාදා පෙරවරු 4.00 දක්වා නැවත ආර්ථික මධ්‍යස්ථාන වසා තබනවා. මේ ගැන ගොවීන්, ගොවි සංවිධාන වගේම ව්‍යාපාරික ප්‍රජාවත් අවධානය යොමු කළ යුතුයි.

ඒ වගේම අදාළ දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු විසින් මැයි මස 24 වැනි සදුදා දිනයේත්, මැයි මස 28 වැනි සිකුරාදාත් භාණ්ඩ රැගෙන ඒමට සහ රැගෙන යාමට ලොරි රථවලට අවසර පත්‍ර ලබාදීම සිදුවෙනවා.

ආර්ථික මධයස්ථාන කළමනාකරුවන් විසින් වෙළෙද සංගම් හරහා ගොවිජනතාව දැනුවත් කර තමන්ට අවශ්‍ය එළවළු සහ පලතුරු ප්‍රමාණය ගැන ඔවුන් දැනුවත් කරන ලෙස අපි දැනටමත් උපදෙස් දීලා තිබෙනවා.

විශේෂයෙන්ම බස්නාහිර පළාත තුළ තිබෙන ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරුවන් විසින් බස්නාහිර පළාතෙන් පිට තිබෙන ආර්ථික මධ්‍යස්ථානව කළමනාකරුවන් සමග සම්බන්ධ වෙලා තමන්ට අවශ්‍ය තොග පිළිබද නිසි යාන්ත්‍රණයක් ගොඩනැගීමට අපි අදාළ උපදෙස් ලබාදී තිබෙනවා. මේ යාන්ත්‍රණය මගින් ගොවිජනතාව මෙන්ම පාරිභෝගිකයින් ද අපහසුතාවට පත් නොවන ලෙස ක්‍රියාත්මක වීමක් අපේක්ෂා කරනවා.

රටපුරා සංචරණ සීමා ක්‍රියාත්මක වන දිනවල ජනතාව විසින් එළවළු – පලතුරු මිලදී ගන්නා ආකාරය ගැනත් අපි දැඩි අවධානයක් යොමුකර තිබෙනවා. ඒ අනුව දිවයින පුරා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මූලිකත්වයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ මීට පෙර සිදුකළ ආකාරයටම ක්‍රියාත්මක වන ලෙස අපි උපදෙස් දීලා තිබෙනවා. මේ අනුව කිසිම පාර්ශ්වයක් අපහසුතාවට හෝ දුෂ්කරතාවට පත් නොවී එළවළු හා පලතුරු සැපයුම නිසි පරිදි ක්‍රියාත්මක වනු ඇතැයි අපි දැඩිව අපේක්ෂා කරනවා‘‘

මෙහිදී මාධ්‍ය වේදීන් විසින් රාජ්‍ය අමාත්‍යවරයාට යොමු කළ ප්‍රශ්න

රාජ්‍ය ඇමතිතුමා මේ වන විට වසා දමා ඇති වැලිසර ආර්ථික මධ්‍යස්ථානය ගැන තත්ත්වය කුමක්ද ?

මැයි 25 වැනිදාට වැලිසර ආර්ථික මධ්‍යස්ථානය විවෘත කර ගැනීමට අපට පුළුවන් වෙයි.

පොලිසියෙන් විවිධ බාධා එල්ල වන බවක් අපි පසුගිය දිනවල දැක්කා. ඒ ගැන කුමක් හෝ තීන්දුවක් ගෙන තිබෙනවාද ?

ඔව්, අපි මේ ගැන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සමග සාකච්ඡා කළා. ඒ වගේම පොලිස්පතිතුමා ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට හා පොලිස් අධිකාරීවරුන්ට නිසි දැනුම්දීමක් හා පැහැදිලි කිරීමක් කරලා තිබෙනවා. අපි දැක්වා පසුගිය දා එළවළු රැගෙන ගොස් එන ලොරි ආපසු එනවිට පොලිසිය සමග ගැටලුවට මැදි වෙනවා. ඒ නිසා මෙවර එළවළු රැගෙන යන විට වගේම ඒවා භාරදී ආපසු එනවිටත් කිසිම අපහසුතාවක් ඇති නොවන ලෙස කටයුතු කරන ලෙස අපි දන්වා තිබෙනවා. මේ සදහා අවශ්‍ය අවසර පත්‍ර විනාඩි පහක් වැනි කෙටි කාලයක් තුළ ලබා දෙන ලෙස අපි ප්‍රා දේශීය ලේකම්වරුන්ගෙන් ඉල්ලා තිබෙනවා. ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයේදී ඇතිවන ගැටලුවලට කඩිනම් විසදුම් ලබාදීමට අපි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයාගේ අධීක්ෂණයෙන් වැඩපිළිවෙළක් සහ දුරකථන අංකයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මේවා මගින් අදාළ ඕනෑම දුෂ්කරතාවකට හෝ ගැටලුවකට විසදුම් ලබාගත හැකියි.

ආර්ථික මධ්‍යස්ථානවල මිල ගණන් සම්බන්ධ ගැටලු තිබෙනවා නේද ?

නැහැ, අපිට මේ දක්වා එවැනි ගැටලුවක් නැහැ. ආර්ථික මධ්‍යස්ථානවල භාරයන් හරහා අධික මිල ගණන් වලට නොයන ලෙස අපි යාන්ත්‍රණයක් සකස් කර තිබෙනවා.

Related Posts