ව්‍යවසායකයෙන් තමන්ගේ ආර්ථිකය පමණක් නොවෙයි රටේ ආර්ථිකයත් දියුණු කරනවා
- Editor
- March 1, 2026
- ආර්ථික සහ ව්‍යාපාරික, කෘෂිකර්මය
- Economy
- 0 Comments
චින්තක ජයසූරිය, ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය
- ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සහ කෘෂි ව්‍යවසායකත්වය තුළ ඔබ දකින වත්මන් ප්‍රවණතා මොනවා ද ?
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය තව දුරටත් සාම්ප්‍රදායික යැපුම් ගොවිතැන ලෙස සැලකිය නොහැකියි. එය යැපුම් ජීවනෝපාය මාර්ගයෙන් වෙළෙඳපොළ නැඹුරු නිෂ්පාදනයට මාරු වෙමින් තිබෙනවා, වෙනස් වෙමින් තිබෙනවා. එය ව්‍යාපාරික කටයුත්තක් බවට පරිවර්තනය වීමට ලොකු පෙළඹවීමක් මේ වන විට සිදුවෙනවා. ඒ හරහා ලාභ ලබන තැනකට ගොවියට එන්න පුළුවන් වගේම ඒ හරහා රටටත් ලොකු ශක්තියක් ලබා ගන්න පුළුවන්. සැකසූ, සහිතක කළ සහ අපනයන ගුණාත්මක නිෂ්පාදන සඳහා ඉල්ලුම වර්ධනය වීම ඊට හේතුවයි. මේ තත්ත්වය තුළ තරුණයින් කෘෂි ව්‍යාපාර හරහා නවීන වෘත්තියක් ගොඩනගා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මේකට හේතු කිහිපයක් බලපා තිබෙනවා. ලංකාව කුඩා රටත් වුණත් ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදනවලට විශාල වෙළෙඳපොළක් තිබෙනවා. සහතික කළ ආහාර, ඒ කියන්නේ ගොවිබිමේ සිට පාරිභෝගිකයා දක්වා අදාළ නිෂ්පාදන පැමිණෙන ආකාරය සහතික කරන්න පුළුවන් නිෂ්පාදනවලට වර්තමානය වන විට විශාල ඉල්ලුමක් තිබෙනවා. විශේෂයෙන් කාබනික නිෂ්පාදනවලට සුවිශාල ඉල්ලුමක් තිබෙනවා. ඒ වෙනුවෙන් ‘ගෙවන්න පුළුවන්’, සූදානම් ලොකු කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම තමයි ගුණාත්මකභාවයෙන් ඉහළ, සෞඛ්‍ය සම්පන්න නිෂ්පාදනවලට විශාල ඉල්ලුමක් තිබෙනවා. මේ තත්ත්වය ගෝලීය වශයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. එය ලාංකික කෘෂි ව්‍යසායකයින්ට හොඳ අවස්ථාවක්.
- කෘෂි ව්‍යවසායකත්වය බලවත් අවස්ථාවක් වන්නේ ඇයි ?
කොවිඩ් – 19 වසංතයෙන් පසුව බොහෝ කර්මාන්තවලට අවස්ථාවන් අහිමි වන විට කෘෂිකර්මාන්තයට බොහෝ අවස්ථාවන් නිර්මාණය වුණා. තරුණ ප්‍රජාව මේ අවස්ථාව ග්‍රහණය කර ගනිමින් ඉන්නවා. විශේෂයෙන් යම්කිසි මුදල් ප්‍රමාණයක් අතේ තිබෙන, යම් ආයෝජනයක් කරන්න පුළුවන් බොහෝ කණ්ඩායම් කෘෂිකර්මාන්තය පැත්තට යොමු වෙන්න ගත්තා. ඒක හොඳ ප්‍රවණතාවයක්. නමුත් අප සැලකිල්ලෙන් මේ ප්‍රවණතාව ග්‍රහණය කරගත යුතුයි. ඒකට හේතුව තමයි, මේ තරුණ ව්‍යවසායකයින් යම්කිසි වැරදි තාක්ෂණයක් ඔස්සේ ගිහින් ඔවුන් අධෛර්යමත් වුණොත් අපට ඉතා වැදගත් අවස්ථාවක් මග හැරෙනවා. ඒ නිසා මේ කරුණ ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි. හැබැයි තරුණයින්ට ව්‍යාපාරික කෘෂිකර්මාන්තය හරහා අවස්ථාවන් විශාල ප්‍රමාණයක් බිහිවෙලා තිබෙනවා. මේක තමයි ‘වෙනස් වෙමින්’ පවතින තත්ත්වය. මම මුලින් සඳහන් කළ ආකාරයට ආරක්ෂිත, ගුණාත්මක සහ අගය එකතු කළ ආහාර සඳහා ඇති ඉල්ලුම ඉහළ යමින් තිබෙනවා. ඒ වගේම නව වෙළෙඳපොළ, සුපිරි වෙළෙඳසැල්, සංචාරක අංශය සහ අපනයන වෙළෙඳෙපාළ හරහා මේ අවස්ථාවන් තව දුරටත් පුළුල් වෙමින් තිබෙනවා. මෙහි දී ‘අගය එකතු කිරීම’ ඉතාම වැදගත්. සාම්ප්‍රදායික නිෂ්පාදනවලට යම්කිසි අගය එකතු කිරීම තුළින් භාණ්ඩ හෝ සේවා බිහි කිරීමේ හැකියාව පාවිච්චි කළ හැකි නම් කෘෂිකර්මාන්තය ආශ්‍රිත ව්‍යවසායකයින් බිහි කිරීමට අපට හොඳ අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම තාක්ෂණය සහ ඩිජිටල් මෙවලම් ප්‍රවේශය හරහා තරුණයින්ට මේ සඳහා පිවිසීමට ඇති බාධා අඩුකරනවා. ඒ වගේම සුළු ප්‍රාග්ධනයකින් කුඩාවට ආරම්භ කර පරිමාණය විශාල කළ හැකි ව්‍යවසායන් බවට වර්ධනය වීමට ද කෘෂි ව්‍යවසායන්ට හැකියාව තිබෙනවා. ඒක කෘෂික ව්‍යවසායකත්වය තුළ තිබෙන ලොකු අවස්ථාවක්. ඒකට හේතුව තමයි සුළු මුදලක් අතැති තරුණයෙකුට, කාන්තාවකට හෝ වෙනත් තැනැත්තෙකුට කෘෂි ව්‍යවසාය ක්ෂේත්‍රයට පිවිසිලා දියුණු වීමට විශාල අවස්ථාවක් තිබෙනවා. මේ තත්ත්වය තුළ කෘෂි ව්‍යවසායකත්වය ආශ්‍රිතව ‘හොඳ අවස්ථාවන්’ ඇති වෙලා තිබෙනවා. ඒ අනුව කෘෂිකර්මාන්තය සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගෙන ගොස් කෘෂි ව්‍යවසායකයින් විසින් පාලනය කරන, ඔවුන් විසින් ඉදිරියට ගෙන යන ක්ෂෙත්‍රයක් බවට කෘෂි ව්‍යවසාය පත් කරන්න පුළුවන්කම තිබෙනවා.
- කෘෂි ව්‍යසායකයින් මුහුණ දෙන පොදු අභියෝග මොනවාද ?
පොදුවේ ව්‍යවසායකයින් මුහුණ දෙන අභියෝගවලට කෘෂි ව්‍යවසායකයින් ද මුහුණ දෙනවා. ඒ අතර ප්‍රධාන අභියෝගයක් වන්නේ සීමිත වෙළෙඳපොළ දැනුම සහ ව්‍යාපාර සැලසුම්කරණය ගැන ප්‍රමාණවත් දැනුමක් නොමැති වීමයි. ඒ වගේම සුපිරි වෙළෙඳසැල් සහ අපනයනය කිරීමට අවස්ථාවන් සොයා යන විට සහතිකරණය, තත්ත්වය සහතික ලබා ගැනීම යන කාරණා සම්බන්ධයෙන් කෘෂි ව්‍යවසායකයින්ට ප්‍රමාණවත් දැනුමක් නැහැ. ඒ වගේම ගැනුම්කරුවන් සහ වටිනාකම් දාමයන්, අගය දාමයන් සමඟ දුර්වල සම්බන්ධතා ද කෘෂි ව්‍යවසායකයින් මුහුණ දෙන අභියෝගයක් ලෙස සැලකිය හැකියි. වටිනාකම් එකතු කළ යුතු ආකාරය සම්බන්ධ ප්‍රමාණවත් තාක්ෂණික දැනුමක් අපේ බොහෝ කෘෂි ව්‍යවසායකයින් සතුව නැහැ. ඒ වගේම තමයි ව්‍යවසායක් ආරම්භ කිරීමේ දී සහ ව්‍යවසායකයින් ලෙස තමන්ට සහාය ලබාගත හැකි ආයතන සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුමක් ඔවුන් සතුව නැහැ. මේ වෙනුවෙන් අදාළ ආයතන හරහා අඛණ්ඩ මඟ පෙන්වීමක් නොමැතිකම ද ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටලුවක් ලෙස සැලකිය හැකියි. අපි විශ්වාස කරන ආකාරයට ව්‍යවසායකයෙකුට ඉදිරියට යාමට නම් ඔහුට අඛණ්ඩ සහායක් සහ මඟපෙන්වීමක් අවශ්‍යයි. ඔහුගේ ගැටලු සහ දුර්වලතාවයන් හඳුනා ගෙන අවශ්‍ය අවස්ථාවල දී ඒ ගැටලුවට විශේෂිත උපකාර හෝ පිළිතුරු ලබා දීලා ඔහුව ඉදිරියට ගෙන යාමට අඛණ්ඩ මඟ පෙන්වීමක් සිදු විය යුතුයි. මේ ආකාරයේ නිසි මඟ පෙන්වීමක් නොමැති වීමට අපේ ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටලුවක් ලෙස මම දකිනවා. මෙකී ගැටලු ජය ගැනීමෙන් තමයි අපට අවශ්‍ය ඉලක්කය කරා සාර්ථකව යාමට අවස්ථාව ලැබෙන්නේ.
- ඔබ සිතන ආකාරයට සාර්ථක ව්‍යවසායකයෙක් වීමට යම්කිසි පුද්ගලයෙකු, ව්‍යවසායකයෙකු සතුවිය යුතු ලක්ෂණ මොනවා ද ?, ඔවුන් කළ යුත්තේ කුමක් ද ?
මුලින්ම අපි ව්‍යවසායකයෙක් කියන්නේ කවුද කියලා නිර්වචනය කර ගත යුතුයි. ඉතාම සරලව ව්‍යවසායකයෙක් කියලා කියන්නේ, සමාජයේ තිබෙන ගැටලුවකට නිර්මාණාත්මක ප්‍රවේශයක් ඔස්සේ යම් පිළිතුරක් සොයා දෙන කෙනෙක්. කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ ව්‍යවසායකයෙක් කියන්නේ, අපේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පවතින ගැටලු හඳුනා ගෙන ඒ ගැටලුව විසඳීමට නව්‍ය විසඳුමක් ඉදිරිපත් කරන කෙනෙක්. එහි අදහස තමයි නිර්මාණාත්මක ප්‍රවේශයක් ඔස්සේ නවතාවයන් ගොඩනැගීම අනිවාර්යය අවශ්‍යතාවක් කියන එක. නමුත් මේක බොහෝ විට සිදු නොවන දෙයක් ලෙස අපි දකිනවා. ආයතනික වශයෙන් ලැබෙන සහයෝගය සම්බන්ධයෙන් වුණත් අපි දකින්නේ කෘෂිකර්මාන්තයේ දැනට ක්‍රියාත්මක වන දේවල්වලටම උපකාර කරන තත්ත්වයක්. ඒ අනුව සත්ත්ව පාලනය ආශ්‍රිතව නම් කුකුළු පැටවුන් දෙන්න පුළුවන්, ගව පාලනය නම් කිරි හරකෙක් ලබා ගැනීමට උපකාර කිරීම, ගව ගාල ඉඳිකර ගැනීමට උපකාර කිරීම වාගේ සංවර්ධන වැඩසටහන් තමයි බොහෝ විට ක්‍රියාත්මක වෙන්නේ. කෘෂිකර්මාන්තය පැත්තෙන් ගත්විට බිම්මල් වගාවට උපකාර කරනවා, මී මැසි පාලනයට උපකාර කරනවා. නමුත් ප්‍රශ්නය තමයි මේවා මේ වන විට පවතින දේවල්. (මේවා නොකළ යුතු බව මම කියන්නේ නැහැ) නමුත් මේවා ඔස්සේ ගියොත් නිර්මාණාත්මක විසඳුමක් ඉදිරිපත් කිරීමක් වෙන්නේ නැහැ. බොහෝ විට සුලභ, සමජාතීය නිෂ්පාදනයක් තමයි ඉදිරිපත් කිරීම සිදුවෙන්නේ. අද ව්‍යවසායකයින්ට උපකාර කිරීම තුළ සිදුවෙන්නේ එම නිෂ්පාදනය, එකම වෙළෙඳපොළට සහ පාරිභෝගික පිරිසකට ඉදිරිපත් කරන නිෂ්පාදනවලට සහයෝගය ලබාදීමක්. නමුත් සිදුවිය යුත්තේ මේ තත්ත්වයට තරමක් වෙනස් තත්ත්වයක්. ව්‍යවසායකයෙක් නම් වෙනස් නිෂ්පාදනයක්, භාණ්ඩයක් හෝ සේවාවක් ගැන කල්පනා කළ යුතුයි. එවැනි ව්‍යවසායකයෙකුට තමයි ලොකු පිම්මක් පනින්න පුළුවන් වෙන්නේ. එවැනි ව්‍යවසායකයෙකුට තමයි සාර්ථක ගමනක් යන්න පුළුවන් වෙන්නේ. එවැනි නව්‍ය ප්‍රවේශයක් නොගන්නේ නම් ස්වයං රැකියාවක් කරන පුද්ගලයෙක්, කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ නම් යම්කිසි කෘෂිකාර්මික නිෂ්පාදනයක් හෝ සේවයක් ලබා දීම තුළින් තමන්ගේ දෛනික ආදායමට අවශ්‍ය යම්කිසි සහායක් ලබා ගන්න කෙනෙක් තමයි අවසානයට බිහි වෙන්නේ. ඒ නිසා සාර්ථක ව්‍යවසායකයෙකු වීමට නම් ‘නව නිර්මාණාත්මක ප්‍රවේශය’ අංක එක ලෙස සැලකිය යුතුයි. ඒ වගේම ව්‍යවසායකයෙක් නිෂ්පාදනයෙන් ඔබ්බට සිතිය යුතුයි, අගය එකතු කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ඔහු ගුණාත්මක ප්‍රමිතීන් සහ සහතික කිරීම සඳහා ප්‍රමුඛත්වය දිය යුතු අතර ගැනුම්කරුවන්, සේවා සපයන්නන් සහ ආයතන සමඟ ජාල ගොඩනගා ගත යුතුයි. ඒ වගේම අඛණ්ඩ කුසලතා වැඩි දියුණු කරගත් නවෝත්පාදනයන් අනුගමනය කරන, ගොවිතැන අතුරු ක්‍රියාකාරකමක් ලෙස නොව වෘත්තීය ව්‍යවසායක් ලෙස සැලකීමට ඔහු පියවර ගත යුතුයි. මෙවැනි ව්‍යවසායකයෙකු පමණයි තමන්ගේ ව්‍යාපාරය හෝ කර්මාන්තය දියුණු කර ගන්න තමන් නව රැකියා අවස්ථා නිර්මාණය කිරීමට හැකියාව ලැබෙන්නේ. මෙහි අදහස තමයි ස්වයං රැකියාවක් කරන කෙනා තමන්ට ජීවත් වීමට යම් ආර්ථික සහායක් ලබා ගන්නවා. නමුත් ව්‍යවසායකයා සාපේක්ෂව ඉතා විශාල ඉදිරි ගමනක් යනවා, සාර්ථකත්වය, දියුණුව කරා යනවා පමණක් නොව ආර්ථිකයට නම රැකියා බිහි කරනවා. ‘ව්‍යවසායකයින් බිහි කළ යුතුයි’ යන සංකල්පයේ අදහසත් මේකම තමයි. තමන්ගේ ආර්ථිකය පමණක් නො වෙයි, ගමේ සහ රටේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට තිබෙන හොඳම මාර්ගය තමයි ව්‍යවසායකයින් බිහි කිරීම.
- ව්‍යවසායකයින්ට අතහිත දෙන, මඟපෙන්වීම් කරන ආයතන සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ?
ව්‍යවසායකයින්ට අතහිත දෙන, ආධාර උපකාර කරන, දැනුම හා පුහුණුව ලබා දෙන ආයතන ගණනාවක් තිබෙනවා. ඒ අතර කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය සහ එම අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන වන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය වැනි ආයතන රැසක් තිබෙනවා. කෘෂි ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් ගත් විටත් ආයතන ගණනාවක් තිබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, අපනය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, උදාහරණ වශයෙන් සලකන්න පුළුවන්. යම්කිසි ව්‍යවසායකයෙක්, හෝ ව්‍යවසායකයෙකු වීමට කැමැති පුද්ගලයෙක් මේ ආයතන ගැන සහ එම ආයතනවලින් ලබා දෙන සේවාවන් ගැන දැනුවත් විය යුතුයි. එසේම අදාළ ආයතනවලින් ලබා ගන්න පුළුවන් සේවා ලබා ගෙන ඉදිරියට යා යුතුයි. මම යළි අවධාරණය කරනවා, සාර්ථක ව්‍යවසායකයෙකු වීමට නම් ඔහු හෝ ඇය තමන්ට සහාය, මඟ පෙන්වීම, පුහුණුව ආදිය ලබාගත හැකි ආයතන සම්බන්ධයෙන් දැනුවත්ව සිටිය යුතුයි. මෙවැනි දැනුවත්වීමක් සහ එවැනි අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගන්නා වූ ව්‍යවසායකයෙකුට සාර්ථක ගමනක් යාමට හැකියාව තිබෙනවා.
- ව්‍යවසායකයෙක් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් ලෙස වෙළෙඳපොළ සම්බන්ධ ගැටලු හඳුනා ගත හැකියි. මේ සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක් ද ?
ඔව්, ව්‍යවසායකයෙක් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් ලෙස වෙළෙඳපොළ සම්බන්ධ ගැටලු සැලකිය හැකියි. එනිසා යම්කිසි ව්‍යවසායකයෙක් තමන්ට අදාළ වෙළෙඳපොළ සම්බන්ධයෙන් නිරන්තරයෙන් සොයා බැලීමක් කළ යුතුයි. ඒ වගේම තමන්ගේ ක්ෂේත්‍රයට අදාළ වෙළෙඳපොළ තත්ත්වයන්, එහි ප්‍රවණතා ගැන නිසි අවබෝධයක් සහ අවධානයක් ඔහු තුළ තිබිය යුතුයි. මේ කටයුතු ව්‍යවසායකයෙකුට පුද්ගලිකව ද කළ හැකියි. නමුත් යම්කිසි අවස්ථාවක මේවා තනියම කර ගත නොහැකි නම් ව්‍යවසායකයින්ට අවශ්‍ය සේවා ලබා දීම වෙනුවෙන්ම ස්ථාපිත කර තිබෙන ඉහත සඳහන් කළ ආයතවලින් අවශ්‍ය සේවය ලබා ගන්න පුළුවන්. ඒ අනුව ව්‍යවසායකයෙකුට අවශ්‍ය වෙළෙඳපොළ සම්බන්ධතා ගොඩනගා ගැනීම, වෙළෙඳපොළ හඳුනා ගැනීම සම්බන්ධ සහාය ව්‍යවසායකයින්ට අදාළ ආයතනවලින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම යම්කිසි නිෂ්පාදනයක ප්‍රමිතිය, ගුණාත්මකභාවය ඇතුළු තොරතුරු, ලේබල්කරණය, තත්ත්ව සහතික ලබා ගැනීම මෙකී ආයතන යාන්ත්‍රණය හරහා ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ව්‍යවසායකයින්ට අවශ්‍ය යන්ත්‍රෝපකරණ සම්බන්ධ තාක්ෂණ දැනුම ලබා දෙන සහ් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන පවා ලබා දෙන රාජ්‍ය ආයතන තිබෙනවා. මම යළි අවධාරණය කරනවා ව්‍යවසායකයින්ට අවශ්‍ය සහාය ලබා දෙන, දැනුම සහ පුහුණුව ලබා දෙන, ඇතැම් අවස්ථාවල මූල්‍ය සහාය පවා ලබා දෙන රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන ගණනාවක් තිබෙනවා. මේ ආයතනවලින් ලබා ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න ව්‍යවසායකයින් උත්සුක විය යුතුයි.
- ව්‍යවසායකයින්ට අවශ්‍ය බිම් මට්මේ සහාය ලබා දෙන යාන්ත්‍රණයක් තිබෙනවා ද ?
ඔව්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ආයතන ගණනාවකට සම්බන්ධ අදාළ සහය සේවා සපයන නිලධාරීන් ගණනාවක් සිටිනවා. ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශක ඇතුළු තාක්ෂණික සහාය සපයන නිලධාරීන් සිටිනවා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ද ව්‍යවසායකයින්ට අවශ්‍ය සහයෝගය ලබා දෙන වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. මෙහි දී ‘විදාතා මධ්‍යස්ථාන’ ගැන විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. මේ අනුව කෘෂි ව්‍යවසායකයෙකුට අවශ්‍ය සියලුම ආකාරයේ, වෙළෙඳපොළ, ව්‍යවසායකත්ව සහ තාක්ෂණික දැනුම සපයන ආයතන ගණනාවක් බිම්මට්ටම තුළ, ප්‍රාදේශීය ලේකම් කාර්යාවල ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි මේ ආයතනවලින් බොහෝ විට කිසිම ගෙවීමකින් තොරව අදාළ සේවාවන් ‘නොමිලේ’ ලබාදීමක් කරනවා.
- ඔබ සිතන ආකාරයට නව අභියෝග සහ අවශ්‍යතාවලට උචිත ආකාරයට ව්‍යවසායක සහය සේවා වැඩසටහන් වෙනස් වෙලා තිබෙනවා ද ?
මීට පෙර යම් යම් ද්‍රව්‍යමය හෝ මූල්‍ය ප්‍රදාන / සහාය ලබා දෙමින් ක්‍රියාත්මක වූ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් වර්තමානය වන විට ආධාරක පද්ධති ප්‍රදානවලින්, මූල්‍ය සහන වලින් වෙනස් වෙමින් ක්‍රමිකව සංවර්ධනය පාදක වූ ප්‍රවේශයකට මාරු වෙමින් තිබෙනවා. සාම්ප්‍රදායිකව පැවැති මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර සැපයීමට අමතරව තාක්ෂණික දැනුම ලබා දීම, ව්‍යවසායකත්ව දැනුම ලබා දීම, වෙළෙඳපොළ ආශ්‍රිත දැනුම ලබා දීම වැනි පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. මේ තත්ත්වය තව දුරටත් සංවර්ධන වෙලා ‘තනි – තනි ව්‍යවසායකයා’ මුහුණ දෙන ගැටලු විසඳා ගැනීමට හැකි උපදේශන සේවා වර්තමානය වන විට ක්‍රියාත්මක වෙනවා. තාක්ෂණික සහාය, ව්‍යවසායකත්ව පුහුණුව, උපදේශනය ඇතුළු සියල්ල එකතු වීම තුළින් ව්‍යවසායකත්ව සංවර්ධනය සිදු කළ හැකි බව මේ වන විට පර්යේෂණ මඟින් තහවුරු කරලා තිබෙනවා. ඒ අනුව ‘ඒකාබද්ධ ප්‍රවේශයක්’ ඔස්සේ විවිධාකාර සහාය වැඩසටහන් ඔස්සේ ව්‍යවසායකයින්ට අවශ්‍ය සේවා ලබා දීම මේ වන විට සිදු වෙනවා.
- කෘෂි ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් ඔබ තරුණ ග්‍රාමීය ප්‍රජාවට දෙන පණිවුඩය කුමක් ද ?
මුලින්ම ඔබ ආකල්පමය වෙනසක් ඇතිකර ගත යුතුයි. කෘෂිකර්මාන්තයට ගෞරවනීය, ලාභදායී ජීවනෝපායන් ජනනය කළ හැකියි. ඒ වගේම ව්‍යවසායකත්වය පවුල සහ ගමට රැකියා නිර්මාණය කරනවා. කෘෂි ව්‍යසායකත්වය හරහා විදේශය විනිමය උපයා ගැනීමට අවස්ථාව තිබෙනවා. කෘෂිකර්මාන්තයේ නවෝත්පාදනයන් ජාතික ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කරන අතරම ජාතික ආර්ථික ශක්තිමත් කරනවා. ඒ නිසා මම විශේෂයෙන් ග්‍රාමිය තරුණයින්ගෙන් ඉල්ලා සිටිනවා කෘෂි ව්‍යවසායකත්වය වෙත යොමු වෙන්න කියලා. ඒ වගේම ඔබට අවශ්‍ය සේවය ලබා දීම වෙනුවෙන්ම ස්ථාපිත කර තිබෙන ආයතනවලින් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න. නව්‍යකරණ විසඳුම් ගේන්න, නව නිර්මාණ කරන්න, ඒ හරහා පමණයි අපට ‘ව්‍යවසායකත්වය’ කියන සංකල්පය බිහිකර ගැනීමට හැකි වෙන්නේ. ඔබේ ආර්ථිකය, පවුලේ ආර්ථිකය පමණක් නොවෙයි ජාතික ආර්ථිකයක් ඉහළ තැනකට ගේන්න ව්‍යවසායකයා කියන කෙනාට පුළුවන්.
සටහන – තුෂාල් විතානගේ – සංස්කාරක, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුුහුණුකිරීමේ ආයතනය

