ලෝකය පුරා නිවුන් දරුවන් බිහිවීමේ දැවැන්ත ඉහළ යාමක්

Spread the love

වර්තමානය වන විට නිවුන් දරුවන් බිහි වීම ඉතිහාසයේ වෙන කවර කාලයකටත් වඩා වැඩියෙන් සිදුවන බවත් එය ගෝලීය වශයෙන් උපරිම අගයකට පැමිණ ඇති බවත්   ගෝලීය වශයෙන් සිදුකළ නවතම පර්යේෂණයකින් සොයා ගෙන තිබෙනවා.

මේ බව සදහන් වන්නේ Journal Human Reproduction හි නවතම කලාපයේයි.

ලොව පුරා සෑම වසරකම නිවුන් දරුවන් මිලියන 1.6 ක් පමණ උපත ලබන අතර සෑම දරුවන් 42 දෙනෙකුගෙන් එක් අයෙකු නිවුන් දරුවන් ලෙස උපත ලබන බවයි එම වාර්තාව පෙන්වා දෙන්නේ.

ප්‍රමාද වූ දරු ප්‍රසූතිය සහ IVF වැනි වෛද්‍ය ක්‍රමවේදයන් මේ සදහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස 1980 දශකයේ සිට නිවුන් දරු උපත් අනුපාතය තුනෙන් එකකින් ඉහළ ගොස් තිබෙනවා.

නමුත් ගැබ් ගැනීමකදී එක් ළදරුවෙකු වෙත අවධානය යොමු වීම අවදානම් අඩු බැවින් එය මෙතැන් සිට පහළට බැස යා හැකි බව ද එය උපකල්පනය කර තිබෙනවා.

මානව ප්‍රජනනය යන සඟරාවේ ගෝලීය දළ විශ්ලේෂණයකට අනුව, පසුගිය වසර 30 කට වැඩි කාලයක් තුළ සෑම කලාපයකම නිවුන් දරු උපත් අනුපාතය ඉහළ ගොස් ඇති අතර එය  ආසියාවේ 32% ක් සහ උතුරු ඇමරිකාවේ 71% දක්වා ඉහළ යාමක් වාර්තා කර තිබෙනවා.

පර්යේෂකයන් 2010 සිට 2015 දක්වා රටවල් 165 කින් නිවුන් දරු අනුපාත පිළිබඳ තොරතුරු රැස් කළ අතර ඒවා 1980 සිට 1985 දක්වා අනුපාත සමඟ සසඳා බලා තිබෙනවා.

දරු ප්‍රසූතිය දහසකට උපත ලැබූ නිවුන් දරුවන්ගේ සංඛ්‍යාව දැන් යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ විශේෂයෙන් ඉහළ මට්ටමක පවතින අතර ලොව පුරා එය දරු ප්‍රසූතිය 1000කට නවයේ සිට 12 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නමුත් අප්‍රිකාවේ  නිවුන් දරු උපත් අනුපාතය සෑම විටම ඉහළ මට්ටමක පවතින අතර පසුගිය වසර 30 තුළ සැලකිය යුතු ලෙස වෙනස් වී නැහැ. එය ජනගහන වර්ධනය නිසා විය හැකි බවයි පර්යේෂකයෝ පෙන්වා දෙන්නේ.

වර්තමානයේ ලෝකයේ සිදු කෙරෙන නිවුන් දරු ප්‍රසූතියෙන් 80% ක්ම අප්‍රිකාව සහ ආසියාව තුළින් වාර්තා වෙන අතර මෙම අධ්‍යනයේ කතුවරයා වන  ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ක්‍රිස්ටියන් මොන්ඩන් පැවසුවේ ඒ සඳහා හේතුවක් ඇති බවයි.

“අප්‍රිකාවේ නිවුන් අනුපාතය එතරම් ඉහළ මට්ටමක පවතින්නේ ඩයිසයිගොටික් නිවුන් දරුවන්ගේ  dizygotic twins සංඛ්‍යාව නිසායි. ( වෙනම ඩිම්බ දෙකකින් උපත ලැබූ නිවුන් දරුවන් –  twins born from two separate eggs) ” යනුවෙන් ඔහු පැවසුවා.

“මෙය බොහෝ දුරට අප්‍රිකානු ජනගහනය සහ අනෙකුත් ජනගහනය අතර ජානමය වෙනස්කම් නිසා විය හැකියි”

යුරෝපයේ, උතුරු ඇමරිකාවේ සහ සාගර රටවල නිවුන් දරු උපත් අනුපාතය ඉහළ ගොස් තිබෙනවා. පර්යේෂකයින් මීට හේතු ලෙස දක්වන්නේ IVF, ICSI, කෘතිම සිංචනය සහ ඩිම්බකෝෂ උත්තේජනය වඩා වැඩියෙන් භාවිත කිරීමයි.

මෙම ශිල්පීය ක්‍රම සියල්ලම බහු උපත් සම්භාවිතාව වැඩි කරන බව සදහන් වෙනවා.

මෙහිදී මහාචාර්ය ක්‍රිස්ටියන් මොන්ඩන් පවසන්නේ තනි දරු උපත් සියල්ලටම වඩා ආරක්ෂිත බවයි.

“මෙය වැදගත් වන්නේ නිවුන් දරු ප්‍රසූතිය ළදරුවන් හා ළමුන් අතර ඉහළ මරණ අනුපාතයක් සමඟ සම්බන්ධ වී ඇති නිසයි. නිවුන් දරුවන් දරා සිටින මවුවරුන්ට ගර්භණී සමයේදී සහ දරු ප්‍රසූතියේදී වැඩි සංකූලතා ඇති විය හැකියි. ඒ වගේම එවැනි දරුවන්ට ද සංකූලතා ඇති වීමේ ඉහළ අවදානමක් තිබෙනවා”

මහාචාර්යවරයා පෙන්වා දෙන ආකාරයට නිවුන් දරුවන්ට උපතේදී වැඩි සංකූලතා ඇති අතර, බොහෝ විට නොමේරූ දරු උපත් සහ අඩු බර දරු උපත් සිදුවීමේ අවදානම ඉහළයි.

සමාලෝචනයෙන් හෙළි වූයේ අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල නිවුන් දරුවන්ගේ ඉරණම වඩාත් සැලකිලිමත් වන බවයි.

උප සහරා අප්‍රිකාවේ, විශේෂයෙන්, බොහෝ නිවුන් දරුවන්ට ඔවුන්ගේ ජීවිතයේ පළමු වසර තුළ තම සොහොයුරා හෝ සොහොයුරිය අහිමි වන අතර සෑම වසරකම උප සහරා අප්‍රිකාවේ නිවුන් දරුවන් 200,000කට වඩා මිය යනවා.

“බොහෝ ධනවත් බටහිර රටවල නිවුන් දරු උපත් අනුපාතය දැන් උප සහරා අප්‍රිකාවේ සිටින රටවලට සමීප වෙමින් පවතින නමුත් නිවුන් දරුවන් මිය යාමේ අනුපාතයේ විශාල වෙනසක් තිබෙනවා” අධ්‍යයන කතුවරයකු වන මහාචාර්ය ජෙරොයින් ස්මිත්ස් පැවසුවා.

පර්යේෂකයන් පවසන්නේ අනාගත නිවුන් දරු උපත් අනුපාතය සඳහා ඉන්දියාව සහ චීනය විශාල කාර්යභාරයක් ඉටු කරනු ඇති බවයි.

සශ්‍රීකත්වය අඩුවීම, වැඩිහිටි මව්වරුන් සහ IVF වැනි ශිල්පීය ක්‍රම සියල්ලම ඉදිරි වසර කිහිපය තුළ නිවුන් දරුවන්ගේ සංඛ්‍යාවට බලපානු ඇති බව ද අදාළ පර්යේෂණ වාර්තා වේ සදහන් වෙනවා.

බී.බී.සී. වාර්තාවක් ඇසුරිණි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

Tags: