ලංකාවේ කැළෑවල අලි අල්ලා පිටරටට විකිණීමට ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි – අමාත්‍ය පරණවිතාන

Spread the love

ශ්‍රී ලංකාවේ වනාන්තරවල රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා අලි-ඇතුන් සිටිනා බවත්, එම අතිරික්ත අලි-ඇතුන් අල්ලා විදේශයන්ට විකිණීමට ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවත් නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවැසීය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (04) බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යලයේ පැවැති බලංගොඩ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම අමතමිනි.

වටවල ප්‍රදේශයේ ජනතාව මූණ පා සිටින වන අලි ගැටළුව සම්බන්ධයෙන් හිමිනමක් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,

“ලංකාවේ අලි වැඩියි කැළෑ ප්‍රමාණයේ හැටියට ලංකාවට අවශ්‍ය අලි 4000යි. දැන් ලංකාවේ කැළෑවල අලි 6000ක් ඉන්නවා. එතකොට අලියා බෝවීම වැළැක්වීම කරන්නම ඕන. අලියා බෝවීම වැළැක් වීම ගැන අපි කතා කරනකොට තවත් පිරිසක් ඇවිල්ලා ලොකු ලොකු කතන්දර කියනවා. මේ අලි ටික අල්ලලා පිට රටකට හරි විකුණන්න ඕන”.

මෙහිදී වල් ඌරන් සහ රිලවුන්ගෙන් වගාවලට සිදුවන හානි පිළිබඳව මතු වූ ගැටළුවක දී නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේ,

“වල් ඌරා මරන්න පුලුවන්නම් මස් ටික විකුණන්න ඉඩ දිය යුතු බවයි. රිලවුන් සම්බන්ධයෙන් ද එය එසේම සිදු විය යුතු බවට අවධාරණය කළ නියෝජ්‍ය ඇමැතිවරයා ලංකාවේ ක්‍රියාත්මක වන මේ මෝඩ නීති අවලංගු කර ජාතික ප්‍රතිපත්තියක් සකස් කර මේ ගැටළුවලට විසඳුම් සෙවීමට කාලය උදා වී ඇති බවත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද හෙතෙම අවධාරණය කළේය.