යුරෝපා සංගමයේ රාජ්‍ය තාන්ත්‍රිකයින්ට ජනපතිවරණ නිරීක්ෂණය තහනම්

Spread the love

යුරෝපා සංගමයේ (EU) දූත මණ්ඩලවල රාජ්‍ය තාන්ත්‍රිකයින්ට ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීමට අවසර දී නැති බව මැතිවරණ කොමිෂම පවසයි.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පැවසුවේ යුරෝපා සංගමයේ මෙරට තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගීවීමට කළ ඉල්ලීම ප්‍රතිපත්ෂේප කළ බවත් එවැන්නකට අවස්ථාවක් ලබාදිය නොහැකි බවත්ය.

ශ්‍රී ලංකාවේ සිටින රාජ්‍ය තාන්ත්‍රිකයින්ට කිසිදු නිරීක්ෂණ මෙහෙයුමක නිරත විය නොහැකි බවත්, මැතිවරණ නිරීක්‍ෂණය කිරීමට ඔවුන්ට අවසර දීම මැතිවරණ කොමිසමේ හෝ රටේ ප්‍රතිපත්තියක් නොවන බවත් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා අවධාරණය කළේය.

විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින්ට මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරත විය නොහැකි බව ඔවුන් මැතිවරණ කොමිෂම සමඟ කළ මූලික සාකච්ඡාවේදී යුරෝපා සංගම් කණ්ඩායමට ද පැහැදිලි කළ බව ද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රකාශකයෙක් පැවසුවේ, EU Observer Mission විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යවන ලද සියලුම ඉල්ලීම් පිළිගෙන ඇති අතර තම කණ්ඩායමේ සියලුම නිරීක්ෂකයින් පිළිගෙන ඇති බවයි.

දැනටමත් මෙරට සිටින කණ්ඩායමට එක්වීම සඳහා යුරෝපා සංගමයේ කෙටිකාලීන නිරීක්ෂක කණ්ඩායමක් හෙට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ද ඔහු පැවසුවේය. මෙම මෙහෙයුම සඳහා සාමාජිකයින් 70 දෙනෙකු පමණ යෙදවීමට යුරෝපා සංගමය බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය.

Related Posts