යල්පැනගිය චක්‍රලේඛ හේතුවෙන් කොවිෂීල්ඩ් එන්නත් 40,000ක් අපතේ

Spread the love

සෞඛ්‍ය අමාත්‍යාංශයේ යාවත්කාලීන නොවූ චක්‍ර ලේඛ හේතුවෙන් මේ වන විට කොවිෂීල්ඩ් එන්නත් 40,000කට ආසන්න ප්‍රමාණයක් අපතේ දැමීමට සිදුවී ඇති බවත් මේ වනවිටත් එන්නත් ලබාදීම සඳහා පූර්ව නිර්දේශයක් නොමැති විදුහල්පතිවරුන්, ඇමතිවරුන් හා සෞඛ්‍ය කාර්‍යමණ්ඩල හිතවතුන් කිහිප දෙනෙකු එන්නත් ලබාගෙන ඇති බව වාර්ථා වී ඇති බැවින්, එන්නත ආල්ලස සදහා පාර කැපීම වැලැක්වීම සදහාද සෞඛ්‍ය අමාත්‍යංශ නීතී ප්‍රායෝගික විය යුතු බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

අද (14) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මේ බව සදහන් කළේය.

එම මාධ්‍ය නිවේදනයේ මෙසේද සදහන් වේ.

මේ වන විට කොවිෂීල්ඩ් එන්නත, 180,000ක පමණ සංඛ්‍යාවකට ලබා දී අවසන්‍ ය. සෞඛ්‍ය අමාත්‍යාංශ චක්‍රලේඛ ප්‍රකාරව එම එන්නත් කුප්පියක්, භාවිත කළ හැකි වන්නේ දස දෙනෙකුට පමණක් වන අතර දස වැන්නාගෙන් පසුව ඉතිරි වන ප්‍රමාණය ඉවත දැමිය යුතුය.

එක් පුද්ගලයෙකු සදහා 0.5ml ප්‍රමාණයක එන්නත් ලබා දිය යුතු අතර දස දෙනෙකු සදහා එය 5ml වේ. නමුත් එන්නත් කුප්පියක ඊට වැඩි ප්‍රමාණයක් එන්නත් අඩංගු බැවින්, ඉතා කාර්යක්ෂම කටයුතු කරන්නේනම් තවත් එක් අයෙකු (එකොලොස් වැනියා) සදහා එම ප්‍රමාණය සලකා බැලීමට හැකි බව නිරීක්ෂණය වී තිබේ.

නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ චක්‍රලේකයට පිටින් කටයුතු කිරීමට නොහැකි බැවින් එසේ වුවද, එම ප්‍රමාණය ඉවත දැමීමට සිදුවේ. 

එම තොරතුරු නිවැරදිනම්, මෙරට මේ වනවිට නාස්තියට ලක්ව ඇති එන්නත් ප්‍රමාණය 40,000කට ආසන්න විය හැකි අතර, නාස්තියේ අනුපාතය ලබාදෙන එන්නත් ප්‍රමාණයෙන් 5:1කි. මුලු ලෝකයටම එන්නත් හිගයක් පවතින මොහොතක, එසේ වුවහොත් එය ජාතික අපරාධයකටත් වඩා, ලෝක අපරාධයකි.

එසේම ගණනය කිරීම් වලට හසු නොවන පරිදි එන්නත් ප්‍රමාණයක් පැවතීම දූෂිත තත්වයක් ඇතිවීමටද පාර කපන බැවින්, සෞඛ්‍ය අමාත්‍යාංශය අදාල තත්වයන් සොයා බලා, බිම් මට්ටමේ සෞඛ්‍ය කාර්‍ය මණඩලය බලාතමක වන පරිදි අදාල චක්‍රලේඛය සහ ගණන් තබා ගන්නා ක්‍රමය වහා සංශෝධනය කල යුතුය.

මේ වනවිටත් එන්නත් ලබාදීම සඳහා පූර්ව නිර්දේශයක් නොමැති විදුහල්පතිවරුන්, ඇමතිවරුන් හා සෞඛ්‍ය කාර්‍යමණ්ඩල හිතවතුන් කිහිප දෙනෙකු එන්නත් ලබාගෙන ඇති බව අපට වාර්ථා වී ඇති බැවින්, එන්නත ආල්ලස සදහා පාර කැපීම වැලැක්වීම සදහාද සෞඛ්‍ය අමාත්‍යංශ නීතී ප්‍රායෝගික විය යුතුය. 

RSL

Related Posts