මීළඟ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දඹුල්ල වැනි මේ කලාපයේ තණතිලිවල පැවැත්වෙන හෙයින් ක්‍රීඩකයන් මෙවැනි තණතිලිවල ක්‍රීඩාකර ඊට සූදානම් විය යුතු බව ශ්‍රී ලංකා ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු සනත් ජයසූරිය පවසයි.
මේ දිනවල පවතින වර්ෂාව සහිත දේශගුණික තත්ත්වය මත දෙවන තරගය ක්‍රීඩා කළ තණතිල්ල දින දෙකක්ම හොඳින් වසා තිබුණ හෙයින් ප්‍රථම තරගය ද ක්‍රීඩා කළ තණතිල්ලෙහිම මෙවර පින්න පැවැති බව කී ශ්‍රී ලංකා පුහුණුකරු ක්‍රිකට් ක්‍රීඩකයන් ඕනෑම තණතිල්ලක ක්‍රීඩා කිරීමට හොඳින්ම සූදානම්ව සිටිය යුතු බව ද කීවේය.
“අපගේ අපේක්ෂාව වුයේ මේ තණතිල්ලේ ලකුණු 160 – 170ක් රැස් කිරීමයි. පැතුම් නිශ්ශංක, කුසල් ජනිත් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් දැමු අඩිතාලමෙන් එම ලකුණු සංඛ්‍යාව කරායාමට අපට අවස්ථාව උදා වුවා“.
“මේ කලාපයේ මෙවැනි රටවල මේ වගේ තණතිලි තිබීම ස්වාභාවික දෙයක්. පිතිකරුවන් මෙවැනි තණතිලිවල ක්‍රීඩා කිරීමට හුරුව සිටිය යුතුයි. එවිට පිතිකරුවන් ස්විප් පහර පුල් පහර ආදි විවිධ පහර එල්ල කිරීමට උත්සාහ ගැනීම ස්වාභාවිකයි“.
දුනිත් වෙල්ලාලගේ ඔහු සහභාගි වු ප්‍රථම තරගයේදීම ලකුණු නවයකට කඩුලු තුනක් දවාලීම විශිෂ්ට පන්දු යවන්නෙක් ලෙස මා දකිනවා. ඔහු මීට පෙර එක්දින තරගාවලියේ ඉන්දියාව සමඟත් හොඳින් පන්දු යැවීමේ දී දක්ෂතා දක්වා තිබෙනවා. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ අද ඔහු පීඩනය මැද දස්කම් පෙන්වා ඔප්පු කළේ ඕනෑම අභියෝගයක් මත ඔහුට හොඳින් පන්දු යැවීමට ඇති හැකියාවයි. කණ්ඩායමේ පුහුණුකරු ලෙස මට අවශ්‍ය වන්නේ හොඳම ක්‍රීඩකයන් පිරිස යොදවා තරග ජය ගැනීමයි.
වේගපන්දු යවන නුවන් තුෂාර මේ තරගයට යෙද වුයේ කණ්ඩායම සමබර කිරීමටයි. අසිත ප්‍රනාන්දු අපගේ හොඳම වේගපන්දු යවන්නා. ඒ වගේම චමිඳු වික්රමසිංහත් දක්ෂයි. ඔවුන් දෙදෙනා මේ තරගයට එක් නොවුයේ තුෂාර යොදවා කණ්ඩායම සමබර කිරීමේ අදහසිනුයි.
අප ක්‍රීඩා කරන්නේ දඟපන්දු යවන්නන් දෙදෙනකු සහ වේගපන්දු යවන්නන් දෙදෙනකු යොදවලයි. මීට අමතරව කමිඳු මෙන්ඩිස් සහ නායක චරිත් අසලංකත් හොඳින් දඟපන්දු යවනවා. මෙයින් පන්දු යැවීම සමබර කර ගත හැකියි. අප තරගයකට යොදවන්නේ හොඳම කණ්ඩායමයි. අප කුසල් මෙන්ඩිස්ට ඔහුගේ දක්ෂතා පහසුවෙන් පෙන්වීමට අවස්ථාව දී තිබෙනවා. ඔහු පළපුරුදු ක්‍රීඩකයෙක්. කඩුලු රකින්නා ලෙස ඔහු හොඳ සේවයක් කරන අතරම නායක චරිත් අසලංකටත් සහය වනවා.
වනිඳු හසරංග යම් යම් වැරැදි සකස් කරගෙන නැවත හොඳින්ම දක්ෂතා අතරට ඒමට ඔහු කැප වී පුහුණුව ලබනවා. කාසියේ වාසිය දිනුවත් නැතත් අපගේ පිතිකරුවන් මෙවැනි දක්ෂතා දැක්විය යුතුයි. මෙවැනි තණතිලිවල ක්‍රීඩා කිරීමෙන් පිතිකරුවනට හොඳින්ම පුහුණුව ලැබිය හැකියි.
අපගේ මැදපෙළ පසු භාගයේ පිතිකරුවන් මේ වන විට හොඳින් දස්කම් දක්වනවා. දැන් ඔවුනට ලකුණු 40 – 50ක් කණ්ඩායමට ලබාදිය හැකියි. අප මීට පෙර ඉන්දියාවට පැරැදුනේ මැදපෙළ අසාර්ථකත්වයෙන්. කණ්ඩායම තෝරන නිලධාරීන් මැදපෙළට භානුක රාජපක්ෂ එක් කළ පසුව මා ඔහුව පුහුණුකර සකස් කළා. අප ටෙස්ට්, විස්සයි 20 සහ එක්දින තරග ළඟ ළඟම ක්‍රීඩා කරන විට ඒවාට උචිත ලෙස කණ්ඩායම් සකස් කළ යුතුයි. වෙනස් වන්නේ ක්‍රීඩකයන් දෙතුන් දෙනෙකු පමණයි. ඉදිරියේ දී තවත් හොඳින් දක්ෂතා අතරට ඒමට අපේක්ෂා කරන බව ද සනත් ජයසූරිය පැවසීය.
බන්දුල මොල්ලිගොඩ
මූලාශ්‍රය – ශ්‍රී ලංකා ක්‍රිකට්