මියන්මාර හමුදාව ප්‍රජාතන්ත්‍රවාදයට යළි වළ කපයි – සුකී අත්අඩංගුවට

Spread the love

මියන්මාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායිකා අවුන් සාන් සුකී ඇතුළු මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ හෙවත් පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් එරට හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ආණ්ඩුවේ ප‍්‍රධානීන් අත්අඩංගුවට ගැනීමෙන් පසු රටේ පාලන බලය සියතට ගත් බව මියන්මාර හමුදාව ප්‍රකාශ කර ඇති බවයි එම මාධ්‍ය වැඩි දුරටත් පවසන්නේ.

මියන්මාරයේ පසුගිය මැතිවරණයෙන් පසු රජය සහ හමුදාව අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වය උත්සන්න වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම හමුදා කුමන්ත්‍රණය සිදුව ඇති බව සඳහන්.

පසුගිය නොවැම්බර් මාසයේ පැවති මැතිවරණයෙන් අවුන් සාන් සූචීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගය ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රමාණවත් ජයග්‍රහණයක් ලැබූ නමුත් හමුදාව චෝදනා කරනුයේ පැවති මැතිවරණය වංචනික එකක් වූ බවයි. මියන්මාරයේ සේනාධිනායක මින් අවුන්ග් හේලින්ග්ට බලය පැවරීමට ක්‍රියා කරන බව හමුදාව පවසා ඇතැයි ද විදෙස් මාධ්‍ය කියනවා.

හමුදා කුමන්ත‍්‍රණය රටවල් කිහිපයක් විසින් හෙළාදකී

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී බලහුවමාරුවට ඉඩ නොදෙන්නේ නම් එම පිරිස්වලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපදය අවධාරණය කරයි. ඉකුත් වසරේ පැවැති මහ මැතිවරණයෙන් මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී බලහුවමාරුවකට මාර්ගය නිර්මාණය කර තිබෙන අතර මැතිවරණ ප්‍රතිඵලයට විරුද්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලය හුවමාරු කිරීමේ ක්‍රියාවලියට බාධාවක් යැයි ද ඇමෙරිකාව ප්‍රකාශ කරයි.

එලෙස බාධා කරන සහ ඊට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් සාකි සඳහන් කළාය.

හමුදාව නැවත වරක් මියන්මාරයේ බලය අත්පත් කරගැනීම සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් බලා සිටින බවත් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන ඇති නායකයන් කඩිනමින් නිදහස් කරන්නැයි අවධාරණය කරන බවත් ඔස්ට්‍රේලියානු රජය මියන්මාරයේ තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

මේ අතර මියන්මාරයේ සිදුවීම් දෙස විමසිල්ලෙන් බලා සිටින බවත් එරට සිටින සිය ජාතිකයන් නැවත ගෙන්වා ගැනීම කෙරෙහි තවම අවධානය යොමු කර නැති බවත් ජපානය සඳහන් කළේය.

RSL

Related Posts