
ජනතා විමුක්ති පෙරමුණ 1987 -1990 කරැල්ලේ දැවැන්තම විනාශය කළේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට ය. එකා පිටුපස එකා මරා දමද්දී ද, කොමියුනිස්ට් පක්ෂය තම දේශපාලන මතවාදයේ විප්ලවීය ගුණය රැකගන්නට කටයුතු කළේය. රටම දන්නා කොමියුනිස්ට්වාදීන් 43 ක් ඝාතනය විය. ඔවුන්ට උමවමනා වූවේ ‘කොමියුනිස්ට් පක්ෂය’ ඝාතනය කිරීම ම ය.
ජවිපෙට කොමියුනිස්ට් පක්ෂය සමඟ මාරාන්තික ‘ඇරියස් එකක්’ තිබුණි. ජවිපෙ මුලින්ම රටට හෙළි කළේ 1969 නොවැ. 9 කොමියුනිස්ට් පක්ෂයේ ‘ඇත්ත’ පත්තරේ ‘තරුණයින් බිලිගන්න සී.අයි.ඒ. කෙමනක්’ ප්‍රවෘත්තියෙනි. ඒ ගින්න කිසිදා නිවුණේ නැත.
කොමියුනිස්ට් පක්ෂයේ ‘ලංකා ජාතික ශිෂ්‍ය සංගමය’ සතු වූ සරසවි ශිෂ්‍ය බලය, ජවිපෙ විසින් 1978 න් පසුව උදුරාගත්තේය. දෙවන කැරැල්ල ආරම්භයේ දී ම, ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් හය (6) දෙනකු ඝාතනය විය. දෙවිනුව බී.ජේ. අබේසේකර ඝාතනය කරනු ලැබූවේ අලවංගුවකින් පහර දී ය. මාතර වසන්ත කුමාර සේනාධීර, පුත්තලම අමිල දුල්ෂාන් ද සමඟ කොමියුනිස්ට් ශිෂ්‍ය ව්‍යාපාරය ඝාතනය විය. දීප්ති ළමාහේවා, දයා පතිරණ, ධර්මසිරි, චමිලි වර්ණකුලසූරිය, නිර්මාල් දේවසිරි, ශිරාල් ලක්තිලක, තිසරණී ගුණසේකර, උපුල් ශාන්ත සන්නස්ගල, ජගත් වැල්ලවත්ත, අනෝමා ජනාදරී වැනි දැවැන්තයින් බිහිකළ ‘ස්වාධීන ශිෂ්‍ය සංගමය’ මෙන්ම කොමියුනිස්ට් ශිෂ්‍ය සංගමය ද කැරැල්ලෙන් අවසන් ගමන් ගියේය! ‘අන්තරය’ බිහිවූවේ මේ ශිෂ්‍ය සංගම් දෙකේ ඝාතන හිඩස තුල ය.
‘එක්සත් සමාජවාදී පෙරමුණ’ හදන්නට අවශ්‍ය කාර්යාලීය හා මානව සම්පත් ලැබුණේ කොමියුනිස්ට් පක්ෂයෙනි. සෝවියට් දේශයෙන් ලැබුණු මුදල්, බුද්ධිමතුන්, මුද්‍රණාලය සහ ‘ඇත්ත පත්තරය’ එයට හේතුවිය. ජවිපෙ 1987 ඔක්තෝබර් 1 සවස 6.45 ට පමණ ‘ඇත්ත’ පත්තරයට ගිණි තබා කාර්යාලය විනාශ කළේය. සේවකයින් බැඳ දමනු ලැබීය. ආණ්ඩුවේ 1988 මැයි 20 දින ලේක් හවුස් පත්තර සමඟ ‘ඇත්ත’ ද ‘මුද්‍රණය, බෙදාහැරීම හා කියවීම’ තහනම් කළේය.
ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු ක්‍රියාකාරීන් 87 -89 ගැන සෑම විටම පැවසූවේ, ‘ජවිපෙට එල්ල වූ රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක වූ ප්‍රතිචාරයක්’ ලෙසය. නමුත්, කොමියුනිස්ට්, සම සමාජ, මහජන, නසසප, ජනතා සංගමය, ස්වාධීන ශිෂ්‍ය සංගමය ඇතුළු පැරණි වමට ප්‍රහාර එල්ල කළේ රාජ්‍ය ත්‍රස්තවාදය හේතුවෙන් නොවේ. ඔවුන් ඝාතනය කළේ ‘දේශප්‍රේමී සටන් පාඨයටත්, ඉන්දු ලංකා ගිවිසුමට සහාය දැක්වීම’ නිසාය.
එදා මෙරට ප්‍රමුඛ ගුරු සංගමය ‘ලංකා ජාතික ගුරු සම්මේලනයේ’ සභාපති රොජ්ර් රත්නායක ඝාතනය කරන විට දකුණු පලාත් සභා මන්ත්‍රීවරයෙකි. 1988 සැප්තෑම්බර් 14 බස්රථයකින් ගමන් කරමින් සිටිය දී, ජොර්ජ් රත්නායකට ජවිපෙ දෙදෙනෙකු විසින් පිහියෙන් අනිනු ලැබීය. වයස 8 අඩු දරුවන් තිදෙනෙකුගේ පියෙකු වූ රත්නායකයන් මැරූ පාසල් සිසුවෙකු වූ (ළමා සොල්දාදුවෙකු) සමන් කුමාර මේරුසිංහ ය. ඝාතක ළමයා රෝර්ජ් යනු කවුදැයි දැන සිටි ද නැත! ජෝර්ජ් සමඟ ගුරු සංගමය ඝාතනය විය! ගුරු වෘත්තීය සමිති බලය පක්ෂයට අහිමි විය.
එල්.ඩබ්ලිව්. පණ්ඩිත (රත්ගම) – පැය 8 වැඩ දිනය, ස්ත්‍රී පුරුෂ සම වැටුප, සේවක අර්ථසාධක අරමුදල ඇති කිරීමට මුලික වූ ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ මහ ලේකම්වරයාය. 1988 ජුනි 26 රාත්‍රී දෙමටගොඩ දී පිහියෙන් ඇන ඔහු ඝාතනය කළේය. ජවිපෙ ට වෘත්තීය සමිති ව්‍යාපාරය ජයගැනීමට තිබූ ලොකුම බාධකය පණ්ඩිත නිසා ජවිපෙ 1986 සංවත්තරයක් දවසේ ඔහුට ශාරීරිකව පහර දුන්නේය. කැරැල්ල සිදුවන විටත් ජවිපෙ හි ‘ජාතික වෘත්තීය සමිති සම්මේලනය’ ට සමාජිකයින් නොවූ අතර වැඩවර්ජන කළේ කල්කටස් තුවක්කුවේ හයියෙනි. පණ්ඩිත සමඟ කොමියුනිස්ට් වෘත්තීය සමිතිය ද ඝාතනය විය!
ප්‍රකට ලේඛකයෙකු ද ගුරුවරයෙකු ද වූ හබරකඩ ජේ.ඊ. ගුණසේකර ලොව විශිෂ්ඨතම රැසියන් කෘතියක් වූ ‘උභය ජීවී’ පරිවර්ථනය ඇතුළු පොත් 13 ලියා ඇත. 1988 ඔක්තෝබර් 2 ඔහු මරා දමන විට වසර 72 කි.
මාතර තරුණ සමිතියේ ලේකම් ගාමිණී රණවීර 1988 අගෝස්තු 30 ඝාතනය කරන විට ඔහුගේ බිරිඳ හය මස් ගැබිණියකි.
මේ සියළු දෙනා ජීවිත කාලයට එදා පාලක එජාපයට විරුද්ධව දේශපාලන කළ ඒ නිසා දේශපාලන පළිගැනීමට ලක් වූ, ජීවිතයේ අනෙක පීඩාවන්ට ලක් වූ වාමාංශික පාලනයක් පැතූ ප්‍රතිපත්තිකරුක මිනිසුන් ය!
1983 ජවිපෙ තහනම මේ ඛෙදවාචකයේ ආරම්භය යි. 1982 මැයි 18 පැවති අතුරු මැතිවරණ කිහිපයක තරඟ කල ජවිපෙ සැලකිය යුතු ඡන්ද සංඛ්‍යාවක් ලැබීය. මහා මැතිවරණයකින් පාර්ලිමේන්තු අසුනක් ලබාගැනීමේ ඉඩ අවහිර නොවූවේ නම්, කැරැල්ල ඇති නොවන්නට ද තිබුණු බව ද කිව යුතුය. නමුත්, මේ ඝාතන ‘රාජ්‍ය ත්‍රස්තවාදයට කිසිදු සම්බන්ධයක් නැත.
ගාමිණී මැදගෙදර පොලොන්නරුවේ ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස සිටිමින් කොමියුනිස්ට් පක්ෂ දිසා ලේකම් ලෙස කටයුතු කළ නීති ශිෂ්‍යයෙකි. ජවිපෙ ඝාතන රැල්ලෙන් මැරූ තුන්වැනියාය. මාතලෙන් පැමිණි හදිසි මරණ පරීක්ෂකවරයෙකු විසින් මරණ පරීක්ෂණය පවත්වා, පොලොන්නරුවේ මතක වස්ත්‍ර පූජා කොට, දේහය සීදුවේ දී මිහිදන් කරනු ලැබූවේ ජවිපෙ තුණ්ඩු කෑල්ලේ භීෂණයේ පරිමාව ගැන අදහසක් දෙමිනි. විජය කුමාරතුංග මේ මළ ගෙදර සිදු කළ කතාවෙන් දින 4 කට පසු ඝාතනය විය. විජය කුමාරතුංග කොමිෂන් සභාව මේ අවමගුල් කථාව සොයා යන විට එහි විඩියෝ කැසට් එක රූපවාහිනියෙන් ඉවත් කිරීමට තරම් සුක්ෂම වී තිබුණි.
නීතිඥ දේශප්‍රිය බණ්ඩාර වෘත්තියෙන් ඉංජිනේරුවයෙකු ද විය. සරත් මුත්තෙට්ටුගම ගේ දේශපාලන සඟයා වූ දේශප්‍රිය කොළොන්න කොමියුනිස්ට් නායකයාය. බටලන්ද ගැන කතා කරන විට නිතර කියවෙන නීතිඥ විජේදාස ලියනාරච්චි පැහැරගැනීමේ දී පොලිස් පැමිණිල්ල සිදු කළ නීතිඥයා දේශප්‍රිය යි. පුරුද්දක් ලෙස සිය පියාගේ සොහොනට මල් තබන්නට යන දේශප්‍රිය සවස 7.30ට පියාගේ සොහොන අසල දී වෙඩි තබා ඝාතනය කර තිබුණි. (ගෝඨාභය ගේ පුද්ගලික ලේකම් සූගීෂ්වර බණ්ඩාර ගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර ගේ පියා ය) දේශප්‍රිය ඝාතනය වෙනත් පක්ෂයක මැරයින් පිරිසක් සිදු කළ බවට ප්‍රබල ජනගත අදහසක් ද ඇත.)
හිටපු විදුහල්පතිවරයෙකු හා සමූපකාර ව්‍යාපාරයේ ගෞරවණීය නායකයෙකු වූ කේ.ඒ.ඩී.සද්ධාතිස්ස අංශභාග රෝගියෙකු ලෙස නිවසේ සිටිය දී 1988 ජනවාරි 5 ගල්කටස් තුවක්කුවකින් වෙඩි තබා ඝාතනය කරන ලදී. එදිනම ඔහුගේ පුතා වූ කොමියුනිස්ට් තරුණ සංගමයේ දිසා නායක උපුල් සද්ධාතිස්ස තේ දළු එකතු කරන්නට ලොරියක යමින් සිටිය දී එදිනම ජවිපෙ වෙතින් ඝාතනය විය. මාගේ මාමා කෙනෙකු වූ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයෙකු වූ කිංස්ලි සර්, මේ පුවත අසා මහ රෑ හැඩු හැටි මට තවම මතකය. සද්ධාතිස්ස ඝාතනය බොහෝ දෙනා දුටුවේ මිලේච්ඡත්වයේ පිළිඹිබුවක් ලෙසිනි.
හෙන්රි පමුණුව 1988 ඔක්තෝබර් 1 දින මහරගම ඔහුගේ නිවෙස ඉදිරිපිට දී ඝාතනය කරන ලද්දේ රාත්‍රී 7.30ට පමණය. සිවිල් සංවිධාන රැසක ප්‍රබල චරිතයක් වූ ඔහු ට වෙඩි තැබීමෙන් පසුව සිරුරේ ස්ථාන 21 කට පිහියෙන් ඇණ තිබුණි. චතුර පමුණුව හා සරණපාල පමුණුව යනු හෙන්රි ගේ දරුවන් ය.ෙ
කොමියුනිස්ට් පක්ෂයට වඩා ලොකු පත්තරයක් ‘ඇත්ත’ නමින් පක්ෂයට තිබුණි. අසූව වර්ජකයෙකු වූ මගේ බාප්පා හැමදාම පත්තරේ ගෙදර ගෙනාවේය. අවුරුදු 10 අද දක්වාම අතට අහුවන හැම විටම ‘ඇත්ත’ පෙරළා බලන පුරුද්ද ආවේ හතරේ පහේ පන්තියේ සිටය. ජවිපෙ ‘මහජන අච්චු කන්තෝරුවේ’ සේවයකින්ට පහර දුන්නේය. පත්තර ගිණි තිබ්බේය. බෝම්බ ගැසුවේය. 87 – 89 විනාශ කළ ‘ඇත්තට’ තිබූ මාධ්‍ය බලය නැවත ගොඩනගා ගැනීමට කොමියුනිස්ට් පක්ෂයට තබා ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයට හැකිවූයේ නැත. (මේ ගැන දේශපාලන සන්නිවේදනය – රජුන් තැනීමේ කලාව පොතේ මම දීර්ඝව ලියා ඇත) කර්තෘ ලොකුබණ්ඩා වනිගසේකර ගේ මහනුවර පවුලේ සාමාජිකයින් ඝාතනය කෙරුණි. ලොකුබණ්ඩා ජීවිත කාලයම අවිවාහයක තම පවුලේ අනාථවූවන් සුරක්ෂා කළේය. කැරැල්ල මරා දැමූ මිනිසුන් පමණක් නොව ජීවත්වන මිනිසුන් ගේ ද ජීවිත පණ පිටින් විනාශ කළේය. රජයේ නීති විරෝධී ඝාතන කල්ලි හෙළිකරන ‘කළු බලල් ප්‍රවෘත්තිය’ නිසා ලොකුබණ්ඩාට ප්‍රේමදාස පාලනයේ මාධ්‍ය නිදහස ගැන ඓතිහාසික නඩුවක් ද වැටුණේයෙ
මාතර ගාමිණී තුඩාව, හක්මන කේ.ඒ.උපුල් රංජිත්, කරුණෑගල ජිනදාස, සරත්චන්ද්‍ර අතුරලිය, ඩී.වීරසිංහ, ඩබ්ලිව්. කරුණාරත්න, වෙහෙරහේන කේ.එම්.විමලසේන ඝාතනය වූ පක්ෂ සාමාජිකයින් 43 න් පිරිසකි. විමලසේනට වෙඩි දෙකක් තබා හතර තැනකට පිහියෙන් ඇණ සාදා නිම කළ චිතකයේ අවසන් ගෞරවය දැක්වීම ද තහනම් කරන ලදී. තල්පාවිල කේ.ජී.විමලසෝම 1988 ඔක්. 26 දින ඝාතනය විය
දිවුලපිටියේ ටී.අමරදාස ඝාතනය වූයේ 1988 මැයි 8 එක්සත් සමාජවාදී පෙරමුණේ රැස්වීමක් අමතමින් සිටිය දී ය. ඇඹිලිපිටියේ එච්.ජී. ජිනදාස තමන්ට වෙඩි තැබීමට පැමිණි දෙදෙනාගෙන් එක් අයෙකුට පෙරළා වෙඩි තබා ඝාතනය කළේය. අනෙකාට ද වෙඩි තබා තුවාල කළ නමුත් ඔහු පෙරලා තිබූ වෙඩි පහරට ජිනදාස මිය ගියේය. බිය නිසාම කිසිවෙකුත් ජිනදාස ගේ දේහය භාරනොගත් නමුත් පොලීසිය ඔහුට උත්තමාචාර පවත්වා මිහිදන් කළේය. සූරියකන්ද, ඇඹිලිපිටිය සිසු ඝාතන ගැන ඔබ ඇති තරම් කියවා ඇති නමුත්, ‘සූරියකන්ද මිනීවලින් පිරෙන්නට’ ආසන්නතම හේතු ව ජිනදාගේ ඝාතනයට හමුදාවේ පොලීසියේ ප්‍රතිචාරය බව බොහෝ දෙනා අහන්නට අකමැති කතාවයි. ජවිපෙ රෑට රෑට මුහුණ වසාගෙන ගෙවල්වලට පැන ඝාතන සිදු කළ ක්‍රමයටම, හමුදාවේ කෝප්‍රල් ලා හයිඑස් වෑන් එකෙන් ගොස් යුද්ධ කරන්නට තීරණය වූයේ මේ සිද්ධියත් සමඟිනි.
2024 දක්වාම කොමියුනිස්ට් පක්ෂය පාර්ලිමේන්තුව නියෝජනය කළේය. මාතර දී කොමියුනිස්ට් සමාජිකයින් මැරෑ ආකාරයට එය පැවතීම පවා පුදුම සහගතය. මාතර රෝහලේ බාහිර රෝගී අංශයේ ලෙඩුන්ට සේවය කරමින් සිටිය දී පී.ජී. ප්‍රේමලාල් 1988 නොවැ. 29 ඝාතනය කළේය. කඹුරුපිටියේ ගම්පති ටී.ධනපාල කුඹුරේ දී පිහියෙන් ඇණ ඝාතනය කරන විට 75 වන වියේ පසුවිය. මාතර ගම්සභාවේ සභාපති වූ පී.ඒ. ජයවර්ධන වැලිදුව දී 1988 අප්‍රේල් 22 ඝාතනය විය. හක්මන ක.ගි. දහම්සිරි, වේයන්ගොඩ සමරවර්ධන රාජපක්ෂ, ගම්පහ කේ.ඒ.ගුණසිරි, මාතර ලුවිස් ප්‍රතාපසිංහ, ජූලි වර්ජක කැලණිය අතපත්තු ධර්මදාස, දෙවිනුවර කේ.ජී. ධර්මසිරි, වාරිපපොල උප විදුහල්පති කේ.ඒ.ඩී. ජිනදාස, මාතර තැපැල් දෙපාර්තමේන්තුවේ එන්.නන්දසේන, මාතර ජී.මී.කුලතුංග, බූස්ස සුදත් ලාල් ගමගේ, එන්.ජී.ඒබ්‍රහිම්, ඩබ්ලිව්. පියසේන ඝාතන ද කැරැල්ලේ ප්‍රතිඑලය. මෙවැනි ඝාතන රැල්ලක් හමුවේ වුව ද, මාතර ඩැනී හිත්තැටිය වැනි නායකයින් පණ බේරා ගැනීමට පාපැදියේ ගිණි අවියතබාගෙන දේශපාලනය කළ පරම්පරාවේ මිනිසුන් ලෙස ඉතිහාසයට එක් වන්නේය.
කොමියුනිස් පක්ෂයේ සමාජිකයින් අතර කුරුරුම ඉරණම අත්වූයේ අනුරාධපුර රාජාංගයේ යායා 17 එකම පවුලේ සාමාජිකයින් වූ කොමියුනිස්ට් පක්ෂයේ අනුරාධපුර ප්‍රබලයින් වූ එස්.විජේරත්න, කේ.වීරරත්න හා කේ. තිලකරත්න ට ය. ඔවුන් තිදෙනාගේ දෙපා සහ අත් ලණුවකින් බැඳ කි.මි. 2 ක් දුර බිම ඇදගෙන ගොස් බස්නැවතුමක දී වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. දේ.ජ.ව්‍යා. විසින් පක්ෂයෙන් ඉවත්වී බැනර් දමන්නට කළ නියෝගය ඔවුන් පැහැර හැර තිබුණි. මේ ඝාතන ත්‍රිත්වයත් සමඟ අනුරාධපුර හමුදා මෙහෙයුම් කුරිරු හා සහාසික වූ බව හොදින්ම දන්නේ එදා අනුරාධපුර දිස්ත්‍රික් නායක වු ජවිපෙ ජනාධිපතිවරණ අපෙක්ෂක නන්දන ගුණතිලක ය.
එකා පිටුපස එකා ඝාතනය වන විට ආණ්ඩුව ලබාදුන් ආරක්ෂක නිලධාරීන්ගෙන් හා ආයුධ වලින් සන්නද්ධව ජීවිතය බේරාගත්තෝය. අද වසර 35 කට පසුව එදා කොමියුනිස්ට් පක්ෂය මුහුණ දුන් භීෂණයේ ප්‍රමාණය විසින් පක්ෂ සාමාජිකයින් තුල ඇති කළ හැඟීම වටහා ගැනීම පහසු නැත. නමුත්, ජයන්ත ගම්මන්පිල නමින් ‘රන් පිළිම’ නමින් කවි පොතක එදා කොමියුනිස්ට්වාදීන් ලෙස මේ පාක්ෂිකයින් මුහුණ දුන් මානුෂීය හැඟුම් කැටි කොට තිබුණි. නීතිඥ එස්.ජී.පුංචිහේවා විසින් ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයට පරිත්‍යාග කරන ලද පුස්තකාලයේ එහි පිටපත් තිබිය හැකිය. කැමැත්තෝ සොයාගෙන කියවත්වා! (නිර්මාල් ලඟ ද පොතක් තිබිය හැකිය)
87 – 90 භිෂණය ජේ.ආර්. සහ එජාපය පිට පටවනු ලබන්නේය. ජීවිත කාලයම වාමාංශික දේශපාලන නිසා එජාපයේ පීඩාවට ලක් වූ කොමියුනිස්ට්, සම සමාජ, නව සමසමාජ, මහජන පක්ෂ, විප්ලවකාරි කොමියුනිස්ට් පක්ෂය, ජනතා සංගමය, ස්වාධීන ශිෂ්‍ය සංගමය විනාශ කිරීමට ගල්කටස් පත්තු වූවේ සන් සූ ගේ ‘ආර්ට් ඔෆ් වෝ’ සිද්ධාන්තයන්ට අනුවය.
බ්‍රිගේඩියර් ජානක පෙරේරා දෙවන කැරැල්ලේ දී ජවිපෙ සිදු කළ වැරදි දෙක ලෙස දකින්නේ හමුදා සමාජිකයින්ගේ පවුල් ඝාතනය කිරීම හා වාමාංශික පක්ෂ ක්‍රියාකාරීන් ඝාතනය කිරීමය. වාමාංශිකයින් ඝාතනයෙන් කැරැල්ලේ සුජාත භාවය විනාශ වූයේය. ඝාතනය වූයේ පක්ෂ සමාජිකයින් නමුත්, ජවිපෙ දෙවන කැරැල්ලේ දී උත්සහ කළේ කොමියුනිස්ට් පක්ෂය සම්පූර්ණයෙන්ම මරා දැමීම ය. එම උත්සාහය අඩක් සාර්ථක වූ අතර, 1994 න් පසුව ධනපති පක්ෂවල ඇමති ධූර ලබා ගැනීම නිසා ඉතිරි අඩ සම්පූර්ණ විය.
රජිත් කීර්ති තෙන්නකෝන්