බංකොළොත් ව්‍යාපාර සම්බන්ධව කටයුතු කිරීමට නව පනත් කෙටුම්පතක්

Spread the love
  • ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” නමින් නව ආයතනයක් පිහිටුවනවා.
  • සෑමවිටම ජනතාවට “අයිතිය” ලබාදීම රජයේ ප්‍රතිපත්තියයි – ජනපති.

තාවකාලිකව අත්හිටුවා තිබෙන පරාටේ නීතිය දිගුකලක් පවත්වාගෙන යාමට නොහැකි බවත්, එබැවින් බංකොළොත් ව්‍යාපාර සම්බන්ධව කටයුතු කිරීමට නව පනත් කෙටුම්පතක් හඳුන්වාදීමට කටයුතු කරනු ලබන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

යෝජිත නව පනත් කෙටුම්පත මඟින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ද විධිවිධාන අන්තර්ගත වන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත අවශ්‍ය ආධාර සහ උපකාර ලබාදීම සඳහා “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” නමින් නව ආයතනයක් බිහිකරනු ලබන බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිගැන්වීම වෙනුවෙන් රජය කැපවී සිටින බව ද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ ලංකා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සම්මේලනය (Ceylon Federation of MSME) විසින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය 19 වැනිදා  සංවිධානය කර තිබූ “ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ජවයෙන් ආර්ථිකය පණගන්වන තීරණාත්මක ඇරඹුම” යන වැඩසටහනට එක්වෙමිනි.

මේ වන විටත් කෙටුම්පත් කර තිබෙන මෙම නව පනතෙහි පිටපතක් ලංකා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සම්මේලනය වෙත ලබාදීමට හැකි බව සඳහන් කළ ජනාධිපතිවරයා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ අදහස් හා යෝජනා ද ඉදිරිපත් කරන ලෙස ද ඉල්ලා සිටියේය.

මෙම මස අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සමඟ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදීමට ද කටයුතු කළ හැකි බව ද ජනාධිපතිවරයා පැවසීය.

මෙහිදී ලංකා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සම්මේලනයේ සභාපති සශිකා ද සිල්වා මහත්මිය විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

Related Posts