‘පුංචි ගෙවත්තටම ගැළපෙන’ නව අඹ විශේෂය – ‘කොඩිමා’

Spread the love

මීට වසර 15 කට පමණ පෙරදී එනම් 2005 වසරේදී ඇරඹුණු අධ්‍යයනයක ප‍්‍රතිඵල ලෙස බිහිවූ අඹ ප‍්‍රභේදයක තොරතුරු, ප‍්‍රභේද නිර්දේශ කිරීමේ කමිටු රැුස්වීම වෙත පසුගියදා ඉදිරිපත් කරන්නට යෙදුනි.

ස්වාභාවිකවම සිදුවෙන පර පරාගනය හේතුවෙන් ඇටයකින් බිහිවෙන හැම අඹ පැළයක්ම දෙමාපිය ගති ලක්ෂණ වල මිශ‍්‍රණයක් දරන නිසා, නව මාදිලියක් සේ සැලකීමේ වරදක් නැත. මේ ආකාරයට මිනිසාගේ අනුදැනුමෙන් තොරව නව මාදිලි බිහිවීම, පර පරාගනය සිදුවෙන ශාක ලෝකය තුළ නොනැවතීම සිදුවේ. යාපනය දිස්ත‍්‍රික්කය තුළ අඹගස් 47900 කට වඩා තිබෙන බව වාර්තා වී ඇතත්, මේවාහි ගතිලක්ෂණ පිළිබඳ තොරතුරු වාර්තා ගතකර ඇත්තේ ඇත්තේ ඉතා අල්ප වශයෙනි.

එකිනෙකට සමාන රූපීය ලක්ෂණ වලින් යුත් අමුතුම ආකාරයේ අඹ ශාක දෙකක් අහම්බෙන් සොයාගනු ලැබුවේ ආකර්ශණීය ලක්ෂණ වලින් හෙබි අඹ ගස් සොයා 2005 දී ඇරඹි ගවේෂණය තුළදීය. බැලූ බැල්මටම මේ ශාක දෙකෙහි ඇති කැපී පෙනෙන වෙනස වූයේ එහි පත‍්‍ර කිරුළ එතරම් උසකට වැඩෙන්නේ නැති නිසාම, පෙන්වූ වැතිරුණ ස්වභාවයයි. පර්යේෂකයින් Creeping Mango ඵ්බටද වශයෙන් මේ ශාක දෙක හැඳින්වුයේ එබැවිනි. ද්‍රවිඩ බසින් එය ”කොඩිමා” වන්නේය.

ආකර්ශනීය ලක්ෂණ දරමින් බීජ පැළ ලෙස බිහිවෙන මෙවැනි අඹ මාදිලි, බද්ධ කිරීම වැනි වර්ධක ප‍්‍රචාරණ ක‍්‍රමවේදයන් හරහා ප‍්‍රචාරණය කිරීමට දැනට වසර 300 කටත් ඈත ඉතිහාසයක් තිබේ. ඒ අනුව මෙවන් හුදකලා අඹ ශාකයක් හෝ දෙකක් හඳුනාගැනීම වුවත්, බෝගයේ අභිවෘද්ධිය සලකා බලන විට වැදගත් සිදුවීමක්ම වන්නේය.

‘තිරුනෙල්වෙලි කහ ‘ Thirunelvely yellow යනුවෙන් නම්කර ඇති මේ ප‍්‍රභේදය වසර පුරාම ඵල දරණ බව පවසන්නේ, බෝගය හඳුන්වාදෙන ආචාර්ය එස්. ජේ. අරසකේසරී මහතාය.

”මේ ප‍්‍රභේදය වියලි කලාපයට හොඳට ගැලපෙනවා. විශේෂ සුවඳක් සහිත මේ ගෙඩි වල තන්තු අන්තර්ගතය බොහොම ස්වල්පයයි. බඳුන්ගත කිරීම වැනි කර්මාන්ත සඳහා එය සුදුසුකමක්. මදය හොඳටම කහපාටයි, පැණි රසයි, මධ්‍යම ප‍්‍රමාණයේ ගෙඩි නිසා පරිහරණයත් පහසුයි”

ශාකය සාමාන්‍යය උස ලෙස වාර්තා වී ඇත්තේ 5-6 අතර අගයකි. පළමු අස්වැන්න ගන්නා අවස්ථාව වනවිට ශාකයේ උස මීටර් දෙකකට වඩා නැත. ගෙඩි ආවරණය කිරීම වැනි ක‍්‍රියාකාරකම් වලදී කෙටි උස ලක්ෂණය මනා පහසුවක් සලසාදෙයි. තිරුනෙල්වේලි කෘෂිකර්ම පර්යේෂණ ස්ථානයේදී 2018 ඔක්තෝබරයේ සිට 2019 සැප්තැම්බරය දක්වා වූ වසරක කාලයක් තිස්සේ ලබාදුන් සාමාන්‍ය අස්වැන්න අනුව විලාඞ් සහ කර්තකොලොම්බන් වැනි පැරණි ජනප‍්‍රිය ප‍්‍රභේදයන්ට වඩා නව මාදිලිය ඉදිරියෙන් සිටිනා බවද පැහැදිලිය.

කර්තකොලොම්බන් විලාඞ් එම කාල පරාසය තුළදී ගෙඩි 11 ක් සහ 204 ක් ලබා දෙන විට ”තිරුනෙල්වෙලි කහ” ප‍්‍රභේදය ලබාදී ඇති ගෙඩි සංඛ්‍යාව 176 කි. විලාඞ් ගෙඩි වල බර කිලෝග‍්‍රෑම් 45.1 ක් වන අතර තිරුනෙල්වෙලි යෙලෝ හි එම අගය කිලෝග‍්‍රෑම් 45.933 වීමෙන් පැහැදිලිවෙන්නේ ගෙඩියක සාමාන්‍ය බර, විලාඞ් වලට වඩා වැඩිවෙන බවයි.

විලාඞ් වල මෙන්ම වැඩි අස්වැන්නක් වාර්තා වී ඇත්තේ ද ඔක්තෝබර් නොවැම්බර් වැනි කාලසීමාවේදී වන නිසා පැහැදිලිවන්නේ වියළි දේශගුණික තත්වය යටතේ නව ප‍්‍රභේදය වැඩිපුර ඵල දරණ බවකි. කෙසේවෙතත් අන් ප‍්‍රභේදයන්ට සාපේක්ෂව වසර පුරා ඵලදැරීමේ විභවයක් මෙම නව ප‍්‍රභේදයට ඇති බව අධ්‍යයන වාර්තා මගින් සනාථ වී තිබේ.

ගෙවත්තක ඇති සීමිත ඉඩකඩ හමුවේ උසින් අඩු හා වසර පුරාම ඵල දරණ අඹ ප‍්‍රභේදයක් සොයමින් සිටිනා අයට තිරුනෙල්වෙලි යෙලෝ නොහොත් ”කොඩිමා” හොද ආරංචියක් රැුගෙනවිත් ඇතිබව පැහැදිලිය.

පිටපත : සනත් එම්. බණ්ඩාර – සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව
තාක්‍ෂණික කරුණු : එස්. ජේ. අරසකේසරී, අතිරේක අධ්‍යක්‍ෂ (පර්යේෂණ) ප‍්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, කිලිනොච්චිය

RSL

Related Posts