‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පතේ පළවූ පුවත සම්බන්ධයෙන් පැවැති විවාදයේදී මැති ඇමැතිවරු දැක්වූ අදහස්..

Spread the love

ගනුදෙනු චෝදනාවට පිළිතුරු දිය යුත්තේ චෝදනාව එල්ල වූ කෙනා මිස එයාගේ ගෝල බාලයන් නොවේ – ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක

රටේ මහජන ධනය සොරාකෑම ගැන ඉතිහාසය පුරාම කතාකර තිබෙනවා. අද හොරකමට සම්බන්ධකම් දක්වන්නේ රජ ගෙදරින් බවට ඔප්පු වෙමින් තිබෙනවා. බැඳුම්කර ගනුදෙනුව ගැන කතා කරද්දී රනිල් වික්‍රමසිංහ නම නොකියා බැහැ. ඒ වගේම නිව්යෝර්ක් ටයිම්ස් පුවතේදී මහින්ද රාජපක්ෂ නම නොකියා බැහැ. රටේ මංකොල්ල තියෙන්නෙ රජ ගෙවල් ඇතුළෙ බව හෙළිදරවු වෙමින් තියෙනවා.

ඩොලර් මිලියන 7.6ක ගනුදෙනු චෝදනාවට පිළිතුරු දිය යුත්තේ චෝදනාව එල්ල වූ කෙනාට මිස එයාගේ ගෝල බාලයන් නොවේ. මැතිවරණ සමයේ කෝටි 20ක චෙක්පත් මාරුවක් කර තිබෙනවා.

“චීන සමාගමට අයත් HSBC බැංකුවේ 011 62502/ 090 දරන ජංගම ගිණුමෙන් ඩොලර් 49001ක මුදලක් පුෂ්පා රාජපක්ෂ පදනමට අයත් මහජන බැංකුවේ 012692 ගිණුමට රුපියල්වලින් චෙක්පතකින් ලබාදී තිබෙනවා.”

“2012.05.21 දින ඩොලර් ගිණුමෙන් ඩොලර් 150,000ක් රුපියල් ගිණුමට මාරු කර තිබෙනවා. එදිනම HSBC රුපියල් ගිණුමෙන් 594191 චෙක්පතින් එක් කෝටි අනූ හතර ලක්ෂ දස දහසක් මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ පුෂ්පා රාජපක්ෂ පදනමේ අංක 204/ 100150003290 ගිණුමට මාරු කර තිබෙනවා.”

“විගණන වාර්තාවල දැක්වෙන හැටියට අදාළ සමාගම පුෂ්පා රාජපක්ෂ ගිණුමට ලබාදුන් මුදල වියදමක් හැටියටයි ගිණුම්ගත කරල තිබෙන්නේ.”
“වරාය අධිකාරියේ සියයට 15ක කොටස් මේ සමාගමට තිබෙනවා. අදාළ ගිවිසුම කල් පිරෙන්නේ අවුරුදු 35කින් පසුවයි. කල්පිරුණාට පසුව වරාය සංවර්ධන කටයුතු සඳහා එම සමාගම වැය කළ මුදල්වල පොත් අගය ශ්‍රී ලංකාව විසින් එම සමාගමට නැවත ගෙවිය යුතුයි”
“පුෂ්පා රාජපක්ෂ පදනමට ලබාදුන් මුදල්ද ඒ අනුව අවුරුදු 35කට පසුව ගෙවිය යුතුයි.”

“චයිනා හාබර් සමාගම ඩ්ර්ථීච්ර්ථී ව්‍යාපෘතිය 2 වැනි අදියර වෙනුවෙන් ඇති ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ රුපියල් ජංගම ගිණුමෙන් (අංක 013359 190/19) නිකුත් කළ චෙක්පත් කිහිපයක්  ෆැන්සිස්කෝ නම් අයකු ලබාගෙන තිබෙනවා.”

“2014/12/12 චෙක් අංක 981321 තුන් කෝටි අනූ ලක්ෂ හැත්තෑපන්දහසක්, 2015/01/07 චෙක් අංක 981328 රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක්, එදිනම චෙක් අංක 981336 රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක්, නිල් බළකාය මුද්‍රණය කළ ටීෂර්ට් සහ හිස්වැසුම් වෙනුවෙන් ලබාදී ඇති බව වාර්තා වේ.

“එම ගිණුමෙන්ම 2015/01/07 දින චෙක් අංක 981333, චෙක් අංක 981335 යන චෙක්පත් මඟින් රුපියල් දෙකෝටි පනස් ලක්ෂය බැගින් ලබාගෙන ඇත.”
“චයිනා මැෂිනරි ඉන්ජිනියරිං කෝපරේෂන් ආතනයේ, ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ ගිණුම් අංක 13658988/01 රුපියල් ජංගම ගිණුමේ චෙක් අංක, 067013 හරහා රුපියල් ‍12 ලක්ෂ අනූ පන්දහසක් සරණ ගුණවර්ධනගේ හිතවතකු වන ඩී.එස්. අබේසිංහට ලබාදී තිබෙනවා. මේ මුදලෙන් කොටසක් 2015 ජනාධිපතිවණයේ මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරක පුවරු සඳහා ලබාදී තිබෙනවා.”

“චයිනා හාබර් සමාගම සතු ස්ටැන්ඩර්ඩ් චාටර්ඩ් රුපියල් ජංගම ගිණුමෙන් 2014/12/31 චෙක් අංක 981319, 981320 යන චෙක්පත් මඟින් රුපියල් මිලියන 58ක් හුවමාරු කරගෙන තිබෙනවා. මෙම මුදල් නේෂන් ලංකා ආයතනයේ සාමාන්‍යාධිකාරි එම්.බී. ප්‍රියන්ත වෙත ලබාදී තිබෙනවා.”

“ඉන්පසු එම චෙක්පත අනුර චන්ද්‍රසිරි හරහා ප්‍රියන්ත සමරසිංහ මඟින් මුදල් කරගෙන එදිනම අනුර චන්ද්‍රසිරි සමඟ අරලියගහ මන්දිරයේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේ හේමා මාදිවෙලට ලබාදී තිබෙනවා.”

“2014/12/22 ලංකා බැංකු ජංගම ගිණුමක් මඟින් නිකුත් කළ චෙක් අංක 0000001062 රුපියල් මිලියන විසිපහක්ද, 2014/12/15 දින ලංකා බැංකුවේ 0072978269 දරන චෙක් පතින් රුපියල් මිලියන විසිපහක්ද, 0000000305 දරන චෙක්පතින් රුපියල් මිලියන තිහක් අරලියගහ මන්දිරයේ නියෝජිතයෙක් මාරු කරගෙන තිබෙනවා.”
“මම වගකීමෙන් කියනවා, මේ චෙක්පත් දේශීය මාර්ග ඉදිකරන්නන්ගෙන් ලැබුණු චෙක්පත් කියලා.”

රටේ ආණ්ඩු පෙරළිය වෙනුවෙන් ඇමෙරිකාව දුන් මුදලින් රතු අලි පැටියාට කීයක් ආවාද?
විමල් වීරවංශ

ඇලෝසියස්ගෙන් මුදල් ගෙන මෙතෙක් එළියට දමා නැති අනෙක් කොටස් ටිකත් එළියට දාන්න කියා අභියෝග කරනවා.

රටේ ආණ්ඩු පෙරළිය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව මුදල් දුන් බවට වාර්තා තිබෙනවා. ශ්‍රී ලංකාව, නයිජීරියාව හා මියන්මාර් යන රටවල බල පෙරළිය වෙනුවෙන් ඩොලර් මිලියන 585ක් දීලා තිබෙනවා. ඒ මුදලින් රතු අලි පැටියාට කීයක් ආවාද කියා මා අහනවා. ශ්‍රී ලංකාවේ බල පෙරළියට මුදල් දුන්නා කියලා විවිධ මාධ්‍යවල පළ වුණා.

මුදල් ලබා දුන් සිද්ධියක් ගැන ඕස්ට්‍රේලියාවේ මාධ්‍යකත් පළ වුණා. ඇයි ඒ ගැන කතා නොකරන්නේ? ඒ ගැන විවාදයක් දෙනවාද? අවුරුදු තුනහමාරක් වැඩක් කර ගන්න බැරිව 2015ට කලින් කියපු පච ටික ඔප්පු කර ගන්නවත් බැරිව අලුත් කැටයම් දාලා, රතු අලි පැටියා ලවා කියවනවා. ඇමෙරිකාවට අවශ්‍ය බල පෙරළිය සිදු කිරීමට කඩේ ගිය රතු අලි පැටව් අද ස්වෛරීභාවය ගැන කතා කරනවා. මත්තල ගුවන්තොටුපොළ වටා අක්කර 40,000ක් පමණ ආරක්‍ෂිත වළල්ලක් ලෙස ගැසට් කරන්නයි යන්නේ. ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කරනවා පමණක් නොවේ. ගාලු වරාය ආශි්‍රත නාවික හමුදා කඳවුරටත් අත තියන්න යන්නේ.

මලික් සමරවික්‍රම ඇමැතිවරයා යටතේ වෙළෙඳ ගිවිසුම ගැහුවේ නැත්නම් රතු අලි පැටියා ඇවිත් හොඳටම ගහලා යන්නේ. නමුත් මලික් ගහන කොට බබාලාට ඇඬෙනවා. රතු අලි පැටියාගේ අදහසුත් එකතු කරගෙන විශේෂ අධිකරණය හැදුවා. මහ බැංකු කොමිෂන් වාර්තාවෙන් අනාවරණය වූ ඇලෝසියස්ගෙන් මුදල් ගත් අයගේ නම් ටික එළියට දාන්නේ නැත්තේ ඇයි? මෙතෙක් එළියට දමා නැති අනෙක් කොටස් ටිකත් එළියට දාන්න කියා අභියෝග කරනවා. අර පුංචි පුංචි ගෙවල් හදමින් ලොකු ටෝක්ස් දාන කෙනාටත් තට්ටු වෙනවා. රතු අලි පැටියාටත් තට්ටු වෙනවා. ඒකාබද්ධ විපක්‍ෂයේ හැත්තෑවක් හිටියත් විපක්‍ෂ නායක සම්පන්දන් මහත්තයාටත්, රතු අලි පැටියාටත් විපක්‍ෂයේ සංවිධායකකම් දීලා මේ පාර්ලිමේන්තුව සෙට්අප් කර ගත්තා. නමුත් මහින්ද මහත්තයා අළු ගසා දාලා ජනතාව අතරට ආපු නිසා ලියාගෙන ආපු තිරපිටපතට අනුව ක්‍රියාත්මක කරන්න බැරි වෙලා. බය නැත්නම් ඡන්ද තියන්න.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත වැරදි නම් ඊට විරුද්ධව නඩු පවරන්න පුළුවන්

තුෂාර ඉඳුනිල්

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියකින් හෙළි කෙරුණු චයිනා හාබර් සමාගමෙන් මුදල් ලබාදුන් බව කියැවෙන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් වූ චෝදනාවට අද උත්තර දෙන්න කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්‍ෂ මේ සභාවේ නැහැ.

මහින්ද රාජපක්‍ෂ මහතා අද රටේත් නැහැ. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත කියන්නේ කැලෑ පත්තරයක් නොවේ. ඒ පුවත්පතේ ප්‍රවීණ කතුවරියක් ඉන්නේ. පුවත වැරැදි නම් ඔබට ඒ පුවත්පතට විරුද්ධව නඩු පවරන්න පුළුවන්.
කාංචන විජේසේකර
ඒ ලිපියට අදාළ පළමු ඡේදයවත් කියවන්න.

විමල් වීරවංශ
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දක්වා ඇති පරිදි නොවේ මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ. අදාළ යෝජනාව කියවන්න ඕනෑ. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ වාර්තාව කියවන්න ඕනෑ. එහෙම කළේ නැහැ.

යහපාලන ආණ්ඩුවක් ඇති කරන්න ඇමෙරිකාව දුන් බව කියන ඩොලර් මිලියන 585 ගැන හෙළි කරන්න
ෂෙහාන් සේමසිංහ

මේ රටේ යහපාලන ආණ්ඩුවක් ඇති කිරීමට ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ලබාදුන් බව කියන ඩොලර් මිලියන 585 ගැන හෙළිදරව්වක් කරන්න.

කිසිම වගකීමකින් තොරව පාලනය කරන රටක තමයි, අප ඉන්නෙ. ඩොලර් මිලියන 7.6 ගැන නැවත නැවත පරීක්ෂණ කරන්නැයි ඉල්ලනවා.

ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ඩොලර් මිලියන 585ක් මෙරට යහපාලනය ආණ්ඩුවක් ඇති කිරීම සඳහා භාරදුන් බව කියනවා. මේ ගැන හෙළිදරව්වක් කරන්න. සදාචාරාත්මක ආණ්ඩුවක් නම් මේ ඩොලර් මිලියන 585ට මොකද වුණේ. ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදීත් ආසන සංවිධායකවරුන්ට බෙදුවේ මේ මුදල් බවයි.

ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පතේ සේවය කළ දැනට ඇමෙරිකාවේ සිටින මාධ්‍යවේදිනියක් ඒ රටේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මේ මුදල් ලබා දුන් ආකාරය ගැන ප්‍රශ්නයක් අසා තිබුණා. ඇමෙරිකාව මුදල් ලබාදී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති බවට පත් කර මහින්ද රාජපක්ෂ පරාජය කළ බව ඉතාම පැහැදිලියි.

ජනබලයට බිය වී පත්තරයක් ගෙනැත් සත පහක වැඩක් නැති දෙයක් කරනවා

කෙහෙළිය රඹුක්වැල්ල

‘මේ රටේ ජනතාව පෙබරවාරියේදී අවුරුද්දක්වත් වයස නැති පක්ෂයක් වටා වීදි බැස ගත්තා. ඒ ජනබලයට බය වී පත්තරයක් ගෙනැත් සත පහක වැඩක් නැති දෙයක් කරනවා’.
අද වන විට බැඳුම්කරය ගැන සද්දයක් නැහැ. ඒ විවාද කල් තිබ්බා. මේ රටේ ජනතාව පෙබරවාරියේදී අවුරුද්දක්වත් වයස නැති පක්ෂයක් වටා වීදි බැසගත්තා. අවුරුදු තුනකට ඉස්සරත් ඔය චෙක් නොම්මර ගැන අපි ඇහුවා.

මේ මොහොත වන විට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත තරම් පූජනීය වස්තුවක් නැහැ. එහි ඇති පූජනීයත්වයක් නැහැ. ජනතාව පෙබරවාරියේදී මහා බලවේගයක් ලෙස ඉදිරියට ආවා. අවුරුදු තුනක් තිස්සේ ලැම්බෝගිනි හෙව්වා. රත්රන් හෙව්වා.

ස්විමින්ෆූල් එක පුරවා තිබූ වැලි සැල්ලඩයකින් හලලා රත්රන් හෙව්වා. හම්බුණේ සෙරෙප්පුවක් පමණයි.

ජනතා බලවේගයට බයවෙලා පත්තරයක් ගෙනත් සත පහක වැඩක් නැති දෙයක් අරගත්තා. චීන රජය මේක ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒක ප්‍රතික්ෂේප කර නැති බවට මුජිබර් රහුමන් මන්ත්‍රිවරයා කීවා. ඒක පට්ටපල් බොරුවක්.

පොහොට්ටුව පිපෙන්නෙ නැති බවට ප්‍රචාරය කළා. පොහොට්ටුව පිපුණාට පසු ඒ මතවාදය නැති වුණා. මානසික රෝගයකින් පෙළෙන අසාර්ථකත්වය මෙයයි. ජනතාව ඉදිරියට ඇවිත් ජනතා පරමාධිපත්‍යයට ඉඩ දෙන්න.

ජනාධිපති එළවීමේ කුමන්ත්‍රණයක් මෙතැන ක්‍රියාත්මක වෙනවා

දයාසිරි ජයසේකර

“අගමැති, කථානායක සහ විපක්ෂනායක එක්ව ජනාධිපතිවරයා තනතුරෙන් ඉවත් කිරීමට හැකිවන වගන්තිය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් කර තිබෙනවා. “රටේ බහුතර ජනතාවගේ ඡන්ද බලයෙන් තේරීපත්වන ජනාධිපතිවරයා තම තමන්ගේ වුවමනාවට ඉවත් කරන්න හදන මේ කුමන්ත්‍රණය පරාජය කරන්න ඕනෑ.”
“නිර්මාණය කෙරෙමින් පවතින නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අරමුණක් ඇති බවට සැක පහළවී තිබෙනවා.”

පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ –
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ ලියැවිල්ලට හොර අස්සන් යොදා තිබෙනවා. ඒ අස්සනට අදාළ පුද්ගලයා මාස හයකින් ලංකාවට ඇවිත් නැහැ. මේ අකටයුත්තට ජයම්පති වික්‍රමරත්න සහ සුමන්තිරන් මන්ත්‍රිවරු සම්බන්ධයි.”

පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන –
“ජයම්පති වික්‍රමරත්න, එම්.ඒ. සුමන්තිරන් යන මන්ත්‍රිවරුන් සහ සුරේන් ප්‍රනාන්දු යන තුන්දෙනා, ව්‍යවස්ථාව හැදීමට පත් කර ඇති උපදේශකයන්ටත් පයින් ගහලා හිතුවක්කාර විදියට වැඩ කරනවා. හොර ව්‍යවස්ථාවක් හදන්න යන මේ ක්‍රියාව නතර කරන්න. මේක ප්‍රතික්ෂේප කරලා අලුත් ව්‍යවස්ථාවක් හදන්න.

“ජනාධිපති එළවීමේ ක්‍රමන්ත්‍රණයක් මෙතැන ක්‍රියාත්මක වෙනවා. බලහත්කාරයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න ඔබට බැහැ.”

“අගමැති දන්නේ නැහැ මොකක්ද වෙන්නේ කියලා. මේක බරපතළ ප්‍රශ්නයක්. මේ රට පෙඩරල් ආණ්ඩුවක් බවට පත් කිරීමේ හොර ව්‍යායාමය ගැන හෙළිදරව්වක් වුණා. දෙන්නෙක් මේකේ ඉන්නවා. ඒක ඊයේ එළිදරව් වුණා.”

ආණ්ඩු පක්ෂයේ (ප්‍රධාන සංවිධායක)
“අද වැදගත් විවාදයක් තියෙනවා. මේ අය සැලසුම් සහගතව කාලය නාස්ති කරන්න උත්සාහ ගන්නවා. හිටපු ජනාධිපතිගෙයි, ඒකාබද්ධ විපක්ෂයෙයි රෙදි ගැලවෙන හැටි අද රටම බලාගෙන ඉන්නවා. විපක්ෂය මේ වගේ කතා කියන්නේ ඒක කඩාකප්පල් කරන්න.”

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක
“ව්‍යවස්ථා උපදේශක මණ්ඩලයේ පොදු එකඟතාවයෙන් තොරව යම් යම් කණ්ඩායම්වල වුවමනාවට මේ වාර්තාව හදලා තියෙන්නේ. ඒ නිසා මෙහෙයුම් කමිටුව ඒ වාර්තාව ප්‍රතික්ෂේප කළා.

මහාමාර්ග ඇමැති කබීර් හෂීම් –
“රටට හානියක් සිදුවන ව්‍යවස්ථාවක් ගේන්න ආණ්ඩුව කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ.”

“නව ව්‍යවස්ථාව පිළිබඳව ප්‍රබල ලෙස සාකච්ඡා කරලා එය රටට ඉදිරිපත් කරනවා. සියලු පක්ෂවලින් පුළුල් ලෙස ඒ සඳහා අදහස් ලබා ගන්නවා.”
“සකස් කරමින් තිබෙන්නේ නව ව්‍යවස්ථාවක් නොවේ. කෙටුම්පතක් පමණයි. විපක්ෂය මේ සිදු කරන්නේ තමන්ගේ හොරකම් වසා ගැනීමේ කූට උපක්‍රමයක්.”

නිව්යෝර්ක් ටයිම්ස් සිද්ධියට සම්බන්ධ පාර්ශ්ව අද සභාවෙ නෑ – ඇමැති අකිල විරාජ් කාරියවසම්

නිව්යෝර්ක් ටයිම්ස් පුවතට අදාළ අය චෝදනාවලට උත්තර දෙන්න ඕනෑ. වෙනත් අය නොවේ. සිද්ධියට සම්බන්ධ පාර්ශ්ව අද සභාවේ නැහැ.
චීනයට උකස් කර සින්නක්කරව ලියාදීලා ලබාගත් මුදල්වලින් ජනතාව මුළා කිරීමට ගත් වෑයම පිළිකුලෙන් හෙළාදකිනවා. සත්පුරුෂයෙක් වශයෙන් ගෙන ගිය සටන් අද පාරාවළල්ලක් වෙලා. අප රටේ පුවත්පතක පළවුණා නම් ඒකට ගහලා ඉවරයි. මේ චෙක්පත් බොරුද? රාජපක්ෂවරුන්ගේ බිරින්දෑවරුන්ගේ නමට ලැබුණු චෙක්පත් බොරුද?
රාජපක්ෂවරුන් රටේ භූමියේ අයිතිය වෙනත් රටවලට පවරාදීමෙන් පමණක් නතර වුණේ නැහැ. රටේ බුද්ධි තොරතුරු පවා වෙනත් රටවල් සමඟ බෙදා ගැනීමට එකඟවී තිබෙනවා. ඒ බව නිහාල් වීරතුංග ලියා තිබෙනවා.

2005 ජනාධිපතිරවණය කොහොමද දිනුවේ? එල්.ටී.ටී.ඊ. සංවිධානයට අල්ලස්දී උතුරු නැඟෙනහිර ඡන්ද ප්‍රකාශ වීම වළක්වා ගත් බව ශ්‍රී පති සූරියආරච්චි හිටපු මන්ත්‍රිතුමා කීවා. අද තෙල් මිල ගැන මේ කට්ටිය හඬා වැටෙනවා. රාජපක්ෂලාට සූදු කෙළින්න පෙට්රල් රුපියල් 160/- විකුණපු හැටි අමතක වෙලා වගෙයි මේ ගොල්ලො කතා කරන්නෙ.
මේ මුදල්වලින් බෞද්ධ ජනයා රැවටුවා. සිල් රෙදි බෙදුවා, මැතිවරණ ව්‍යාපාර කරන විට දිගට හරහට බෙදපු හැටි මතකයි. මේවා ලැබුණු හැටි ගැන මැතිවරණ කොමසාරිස් පරීක්ෂණයක් කළ යුතුයි.

බැඳුම්කර චෝදනා එල්ල වූ විට ආණ්ඩුවක් විදියට පියවර ගත්තා. අගමැති කොමිසමට ගොස් සාක්කි දුන්නා. මේකෙන් බේරෙන්න ගියත් ජනතාවගෙන්, ස්වභාවධර්මයෙන් හා තම හෘද සාක්ෂියෙක් බේරෙන්න බැහැ.

නිව්යෝර්ක් ටයිම්ස් පුවතට අදාළ අය මෙතැන ඇවිත් උත්තර දෙන්න ඕනෑ. වෙන අය නොවේ. සිද්ධියට සම්බන්ධ පාර්ශ්ව අද සභාවේ මෙතැන නැහැ. කඩා වැටුණු ආර්ථිකය යම් තැනකට ගෙන එන්න අපට හැකිවුණා.

අද රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍යවල අඩු පාඩු ගැන කොච්චර පහර දෙනවාද? ඒ නිදහස ලැබුණේ මේ ආණ්ඩුව බලයට පත්වීම නිසයි. එදා මාධ්‍යවේදීන් කීදෙනෙක් ඝාතනය කළාද? අද විවේචනය කර හානියක් නොවී ජීවත්වෙන්න පුළුවන්.

චයිනා හාබර් සිදුවීමේ චෙක්පත් මාරු කළ අයගේ නම් ආදිය මා ළඟ තිබෙනවා. පුෂ්පා රාජපක්ෂ මහත්මියට ලැබුණු චෙක්පත් ඡායා පිටපත් පවා සභා ගතකරන්න පුළුවන්.

බැඳුම්කර කොමිසමේ වාර්තාවේ කොටස්, වංචාව වසා දැමීම සඳහා පරිවර්තන කටයුතු ඕනෑ කමින් ප්‍රමාද කරනවා
ඒකාබද්ධ විපක්‍ෂ නායක දිනේෂ් ගුණවර්ධන

බැදුම්කර කොමිසමේ වාර්තාවේ මෙතෙක් පාර්ලිමේන්තුවට ලබා නොදුන් කොටස්, වංචාව වසා දැමීම සඳහා පරිවර්තන කටයුතු ඕනෑ කමින් ප්‍රමාද කරනවා.
මේ කොටස් තවමත් මේ සභාවට ඉදිරිපත් කළේ නැහැ. දැන් මාස කිහිපයක්ම ගත වුණා. මේ වාර්තා පිටපත් මේ සභාවට ලබා දෙන්නේ කවදාද?
කථානායක
මම මේ වාර්තාවල සිංහල පරිවර්තන ලබාදෙන ලෙස අලුත් ජනාධිපති ලේකම්තුමාට දැනුම් දුන්නා. ඒවා තවම පරිවර්තනය කර අවසන් වෙලා නැහැ. ලැබුණු ගමන් ලබාදෙනවා.
අනුර කුමාර දිසානායක
අදාළ සී 350 දක්වා ඇමුණුම් ලබාදීලා නැහැ. නීතිපතිවරයා ඉදිරිපත් කරලා තිබුණ සාධක 9ක්. කථානායතුමා පොරොන්දු වුණා නීතිපතිවරයා පක්‍ෂ නායක රැස්වීමට කැඳවලා සාකච්ඡා කරනවා කියලා.

දැන් තවත් කරුණු අනාවරණය වෙමින් තිබෙනවා. චෙක්පත් ගනුදෙනු, දුරකථන ඇමැතුම් ආදිය සම්බන්ධයෙන් වාර්තා වෙනවා. කොමිෂන් සභාවේ හිටපු එක් සාමාජිකයකුගේ දියණියක් අගමැති කාර්යාලයේ රැකියාවක් කරනවා කියලා දැන ගන්න තියෙනවා. මේ තත්ත්වය නිසා ඉක්මනින් මේ විවාදය පවත්වන්න.

විමල් වීරවංශ
තොරතුරු දැන ගැනීමේ අයිතිය මේ පාර්ලිමේන්තුවට නැද්ද? එක භාෂාවකින් පමණක් මේ වාර්තාව ඉදිරිපත් කළා. ජනාධිපති ලේකම් කාර්යාලය පිටට පවරලා අත සෝදාගන්නේ නැතිව මේ වාර්තා ලබාදෙන්න.
මේ රටේ සිදුවූ මහා මංකොල්ලයේ මහ මොළකරු විකුණුම්සිංහ ආරක්‍ෂා කරන පාර්ලිමේන්තුවක් බවට පත්කරන්න එපා.
කථානායක
මම ජනාධිපති ලේකම්තුමාට කතා කළා. ඉක්මනින් ලැබේවි.

මත්තල ගුවන්තොටුපොළ ගිවිසුමට අස්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා
ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

මත්තල ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් ගිවිසුමක් අස්සන් කිරීමට පෙර එම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් නීත්‍යනුකූලව ගන්න පියවර ගන්නවා මිසක් කොළේ වහල ගහන්නේ නැහැ.

විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක ස්ථාවර නියෝග 27 (2) යටතේ කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් එසේ පැවැසූ ඇමැතිවරයා මෙම ගිවිසුම අස්සන් කිරීමට කලින් පෙර කොන්දේසිවලට ඇතුළත් විය යුතුයි.

මෙය ව්‍යාපාරික ගනුදෙනුවක් පමණයි. රජයේ තක්සේරුකරු විසින් තක්සේරු කළ මිල සම්පූර්ණයෙන් ගෙවිය යුතුයි. යුද ගුවන් යානා ආදිය මෙම ගුවන් තොටුපොළට ඇතුළුවීමට ඉඩක් දෙන්නේ නැහැ. ගුවන් ගමන් පථ හැසිරවීම ලංකාවේ අයට පමණයි දෙන්නේ.

කටුනායක ගුවන්තොටුපොළේ මෙන්ම ගිනි නිවීම, හදිසි ආරක්‍ෂක කටයුතු අප විසින් පත් කරන ලද ආරක්‍ෂක කණ්ඩායම් විසින් සිදුකරනවා.
ගුවන්තොටුපොළේ සේවක සුරක්‍ෂිතතාවක් ඇති කරනවා. එහි සේවක සංඛ්‍යාව 574ක්. ඒ අය අතරින් මෙතෙක් ස්ථීර නොවූ අයත් දැන් ස්ථීර කර තිබෙනවා.

අවුරුදු පහකින් මෙය සක්‍රිය ගුවන් තොටුපොළක් බවට පත් කරන්න ඕන. ව්‍යාපාරික සැලැස්ම මෙම ගිවිසුම අස්සන් කිරීමට පෙර අපට ඉදිරිපත් කරන්න ඕන.

RSL

Related Posts