දේශබන්දු ඉල්ලා නා හිමිවරු ගොනු කළ පෙත්සමට අත් වුණ ඉරණම

Spread the love

දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පති කාර්යාලයේ බලතල සහ කාර්යයන් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගයට මැදිහත් වී එය ඉවත් කිරීමට අධිකරණයේ අවසරය ඉල්ලා භික්ෂූන් වහන්සේලා තුන් නමක් ගොනු කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) ප්‍රතික්ෂේප කළේය.

ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන, පූජ්‍ය කොටපිටියේ රාහුල සහ මහාචාර්ය අගලඩක සිරිසුමන යන භික්ෂූන් වහන්සේලා විසින් මෙම අතරමැදි පෙත්සම ගොනු කර තිබුණේය.

2024 ජූලි 24 දිනැති අතුරු තහනම් නියෝගයට මැදිහත් වී එය ඉවත් කරන ලෙස පෙත්සම්කාර හිමිවරු ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය ඉල්ලා සිටි අතර, එම අතුරු නියෝගය පවතින කාලය තුළ නීතියට අනුව සුදුසු පුද්ගලයකු පොලිස්පතිවරයා ලෙස පත් කිරීම ගැන සලකා බලන ලෙස ජනාධිපතිවරයාට නියම කරන ලෙස  ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය සහ ජනාධිපතිවරයා කිසිදු පත්කිරීමක් නොකිරීම රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සහ ජනාධිපතිවරණයේ වගකීම් ඉටුකිරීමට බලපාන බව මැදිහත් වූ පෙත්සම්කරුවෝ ප්‍රකාශ කළහ.

යසන්ත කෝදාගොඩ, අචල වෙන්ගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම පෙත්සම විභාග කිරීමට නීතිමය පදනමක් නොමැති බව පවසමින් එය ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළේය.

Related Posts