
මාකඳුරේ මදුෂ්ට-හරක් කටාට වඩා සූක්ෂ්ම අපරාධකරුවෙක්
ඡන්ද හිමි නාමලේඛනයේ නම නෑ
ගෙවල් 08ක් තියෙනවා
නිවෙස ගෙයක් නෙවෙයි, ස්කාගාරයක්
දිවුරුම් ප්‍රකාශයේ ඔහුගේ ලිපිනයේ හිමිකරු භික්ෂුවක්
කෝටියකට වඩා වටිනා මත්පැන් බෝතල් සොයාගත්තා
දින 20ක් සැඟව සිටීමට ආධාර අනුබල සහ රැකවරණය දුන්‌ෙන් කවුද?
– අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කියයි
මාතර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් දුටු තැන අල්ලා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විවෘත වරෙන්තු නිකුත් කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේය.
විවෘත වරෙන්තු නිකුත් කිරීමෙන් පසු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඊයේ (19) පෙරවරුවේදී අධිකරණයට භාරවීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
මාතර කොටවිල පිහිටි අධිකරණ සංකීර්ණයට ඊයේ (19) උදෑසනින්ම පැමිණි තෙන්නකෝන් මහතා තම නඩු වාරය එළැඹෙන තෙක් මහේස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂිත ස්ථානයක රඳවනු ලැබ තිබිණි.
පසුව දහවල් 12.30ට පමණ නඩුව අධිකරණයේදී කැඳවනු ලැබීය.
පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සහ සැකකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා ඇතුළු නීතිඥ මඬුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
සැකකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා අපරාධකාරයකු නොවන බවත් ඔහු ගරු අධිකරණයට තිබෙන ගෞරවය නිසා මෙලෙස ඉදිරිපත් වූ බවත්ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව තම සේවාදායකයා අභියාචනාධිකරණය ඉදිරියේ නඩුකරයක් ගොනු කරමින් සහනයක් අපේක්ෂා කළ බවත් එය ප්‍රතික්ෂේප වූ වහාම පෙරවරුවේම අධිකරණයට පැමිණ භාර වූ බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.
ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා,
“ස්වාමීනි මෙම සැකකරු ඇප මත මුදාහරින ලෙස මා ඉල්ලා සිටිනවා. ඇප ප්‍රතික්ෂේප කිරීමට නම් ඔබතුමා ඇප පනතේ විධිවිධාන දෙකක් සලකා බැලිය යුතුයි. විමර්ශන මඟහැර සිටීම හා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම මෙම කරුණු දෙකයි. මේ සැකකරු පොලිස්පතිවරයා වශයෙන් “යුක්තිය” යනුවෙන් විශාල මෙහෙයුමක් කළා. එහිදී අපරාධ ක්‍රියාවලට සම්බන්ධ විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන මේ වන විටත් බන්ධනාගාරගත කර තිබෙනවා. ඉතින් මේ සැකකරු බන්ධනාගාරගත කළහොත් ඔහුගේ ආරක්ෂාව තහවුරු විය යුතුයි. ඒ හේතුවෙන් තම සේවාදායකයා ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින්නැයි ඉල්ලා සිටිනවා.”
පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා,
“ස්වාමීනි, අද පෙරවරුවේ මට ආරංචියක් ලැබුණා අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබෙන මේ සැකකරු ටයි කෝට්වලින් සැරසී බෙන්ස් රථයකින් ඇවිත් මාතර උසාවිය තුළ වාඩි වෙලා ඉන්නවා කියලා. ඒක සැළ වීමෙන් පසුවයි මා මේ අධිකරණයේ පෙනී සිටින්න තීරණය කළේ. මේ මෝසම ගැන අපට දැනුම් දීමක් නොකර හොර පූසා වගේ උසාවියට ඇවිත් පාළු ගෙයි වළං බිඳලා ඇප අරගෙන යන්න මේ සැකකරු හිතාගෙන ඉන්න ඇති. මම උසාවියට එන අවස්ථාවෙත් මේ සැකකරු ටයිකෝට්වලින් සැරසිලා බංකුවක වාඩි වෙලා සිටියා. ස්වාමීනි මම අහන්න කැමතියි. මොහු බංකුවක වාඩි වෙලා ඉන්නේ කොහොමද? ඔහු සිටිය යුත්තේ කූඩුවේ. මොහු අපරාධකාරයෙක්. අපරාධකරුවකු උසාවියට එන්න ඕනෑ දණගාගෙන. මෙහෙම සිංහ ලීලාවෙන් ඇවිත් ඉන්න බෑ. මොහු ෆෝන් ඕෆ් කරගෙන යටිකූට්ටු ගේම් ගහමින් දින විස්සක් පමණ අධිකරණය මඟහැර හැංගිලා සිටියා. සංවිධානාත්මක අපරාධකරුවන් හැටියට සැලකෙන මාකඳුරේ මදුෂ්, හරක් කටා වැනි අපරාධකරුවන්ටත් වඩා සූක්ෂ්මව කටයුතු කළ පුද්ගලයකු බවට විමර්ශනවලදී පෙනී යනවා. විවිධ යටිකූට්ටු උපක්‍රම අන්චි අදිමින් රංගන ශිල්පියකුගේ අවසානය අද සනිටුහන් වෙනවා. ඔහු උසාවියට ආවේ නහය ළඟටම වතුර ගලාගෙන ආවට පස්සේ. මේ සැකකරු අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ පළමු වැනි වගඋත්තරකරු ලෙස නම් කර තිබුණේ ඔබතුමාවයි. ඔබතුමා අධිකරණ ශාලාවේ දොරගුළු වහගෙන කුමන්ත්‍රණය කරනවා කියලත් ඒ පෙත්සමේ චෝදනා කර තිබුණා. මේ සැකකරු පොලිස්පති ධුරයේ කටයුතු කරනකොට ප්‍රකාශ කර තිබුණා අපරාධකරුවන්ව ආරක්ෂා කරන්නේ නීතිඥවරු කියලා. එහෙම කියපු එයා අද නීතිඥවරුන්වත් වට කරගෙන උසාවියට ඇවිල්ලා ඉන්නවා.
ස්වාමීනි, මේක W15 හෝටලයට වෙඩි තැබීමේ නඩුව නෙමෙයි. මෙය මොහුගේ කර්මය සම්බන්ධ නඩුවක්. කර්මය ගැන විශේෂයෙන් අර්ථගන්වනවා නම් මොහු සම්බන්ධයෙන් දිට්ඨ ධම්මවේදනීය කර්මය ඵලදීමේ නඩුවක්. මොහුට ඒක අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ඔහුගේ ඇස් පනාපිටම එය ඵල දීලා තියෙන්වා.
ස්වාමීනි, මේ සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස ඔබතුමා නියෝගයක් නිකුත් කිරීමෙන් පසුව ප්රභාකරන් හොයනවා වගේ විශාල පොලිස් කණ්ඩායමක් මොහු සොයා මෙහෙයුම් ආරම්භ කළා. මොහුට තිබෙන සමාජ බලයත් ආගමික බලයත් පාවිච්චි කරගෙන ඊයේ දවස වනතුරු මොහු හැංගිලා හිටියා. මොහු ලිපිනය වශයෙන් දාලා තිබුණු දිවුරුම් ප්‍රකාශයේ ඔහුගේ ලිපිනයේ හිමිකරු බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක්.
පසුගිය දින කීපයේදීම මෙයා ගැන පොලීසිය නිලමේවරු, දේශපාලකයන් ඇතුළු විවිධ පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කළා. එවැනි අය සමඟ තමයි මොහු ඩීල් දාලා තියෙන්නේ. මේ සැකකරුගේ නිවෙස පරීක්ෂා කළ අවස්ථාවේ එහි තිබී මත්පැන් බෝතල් 795ක් සොයාගෙන තිබෙනවා. කෝටියකට වඩා වටිනා මත්පැන් බෝතල් සොයා ගත්තා. හැම්පර් විතරක් එකසිය ගාණක් තිබ්බා. රජයේ සේවකයන්ට තුටු පඬුරු ලබා ගන්න බැහැ. එසේ නම් ඔහු ඒවා ලබා ගත්තේ කොහොමද? මොහුගේ නිවෙස ගෙයක් නෙවෙයි. ඒක ස්කාගාරයක්. කිසිම දේපොළක් මොහුගේ නමට ලියාපදිංචි වෙලා නැහැ. එහෙත් ඔහුට ගෙවල් අටක් පමණ තිබෙන බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ නිසයි මම කිව්වේ මාකඳුරේ මදූෂ් සහ හරක් කටා වැනි පුද්ගලයන්ගේ දේපොළ පවා තහනමට ගැනීමට හැකියාව ලැබුණත් මේ පුද්ගලයාගේ දේපොළ පිළිබඳ මෙතෙක් කිසිදු නිශ්චිත තොරතුරක් අනාවරණය වෙලා නෑ. මොහුගේ නම සහ පවුලේ අයගේ නම් 2021න් පසුව ඡන්ද හිමි නාමලේඛනයේ පවා සඳහන් වෙන්නේ නෑ. මෙම සැකකරු අධිකරණය මඟහැර කට්ටි පනිමින් සිටි පුද්ගලයෙක්. ස්වාමීනි, ඔබතුමා මේ වෙලාවේදී සලකා බැලිය යුත්තේ ඇප ලබා දීම නොවෙයි. දින 20ක් මොහුට සැඟව සිටීමට ආධාර අනුබල දුන් සහ රැකවරණ දුන් පුද්ගලයන් කවුද යන්නයි. ඒ මන්ද යත් අභියාචනාධිකරණය එම පුද්ගලයන් කවුරුන්ද යන්න සොයා බලා නීතිමය පියවර ගත යුතු බවට නියම කරලා තියෙනවා.
ඒ අනුව ඇප දීම සම්බන්ධයෙන් පැමිණිල්ල වෙනුවෙන් දැඩි ලෙස විරුද්ධත්වය දක්වනවා. ඒ අනුව ඔබතුමන්ගේ අධිකරණයේ කාර්යභාරය විය යුත්තේ මෙවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් සමාජයට ප්‍රබල පණිවිඩයක් ලබා දීමයි. එනම් කිසිවකු නීතියට ඉහළින් නොව නීතියට අනුගතව සිටිය යුතු බවත් නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කළ යුතු බවත්ය. ඒ වගේම සමාජයට පණිවිඩයක් දිය හැකි තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටිනවා.”
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද (20) දින ප්‍රකාශයට පත් කරන තෙක් නඩුව කල් තැබීය.
source ; dinamina.lk