ජාත්‍යන්තර රෝගීන් සුරක්ෂිතතා දිනය අදයි

Spread the love

සෑම වසරකම සැප්තැම්බර් මස 17 දින ජාත්‍යන්තර රෝගීන්ගේ සුරක්ෂිතතා දිනය ලෙස සැමරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2019 වසරේ පැවති 72 වන සමුළුවේදී තීරණය කරන ලදී. ඒ අනුව රෝගීන්ගේ සුරක්ෂිතතාවය ගෝලීය වශයෙන් ප්‍රමුඛතාවක් ලෙස සලකමින් 2020 මෙම වර්ෂයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් 194 ක් එම දිනය අද සමරනු ලබනවා.

ඒ අනුව  ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රෝගීන්ගේ ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා ගෝලීය සහායෝගීතාවය සහ සියලු රටවල් සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සාමූහික ක්‍රියාමාර්ග ලෝක රෝගී සුරක්ෂිතතා දිනය වෙනුවෙන් ඉල්ලා සිටී.

දැනට ගෝලීයව බලපා ඇති covid -19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර රෝගීන් සුරක්ෂිතතා දින තේමාව ලෙස සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සුරක්ෂිතතාව ප්‍රමුඛ කාර්යයක් යන්න ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ ද මෙම දිනය තේමා කරගනිමින් covid -19 වසංගත තත්ත්වය යටතේ රෝහල්වල කරන ලද ව්‍යාපෘති වාර්තා 150 ක් පමණ ලබාගෙන ඒ අතරින් ව්‍යාපෘති වාර්තා 10 ක් තෝරා ගෙන ප්‍රදර්ශනය සඳහා කටයුතු යොදා ඇත. තවද මීට සමගාමීව කාසල් රෝහලේ පිහිටුවා ඇති ගුණාත්මක හා රෝගීන්  සුරක්ෂිතතා කාර්යාලයේ නව වෙබ් අඩවිය ගරු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතින් අද දින විවෘත කරන ලදී. එමෙන්ම රෝගීන් සුරක්ෂිතතා දිනය සංකේතවත් කිරීම සඳහා අද දින සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රය ඇතුළු දිවයිනේ සියලුම රෝහල් තැඹිලි පැහැයෙන් ආලෝකමත් කිරීමටද කටයුතු යොදා ඇත.

කොළඹ කාසල් රෝහලේ ශ්‍රවණාගාරයේ පැවති ජාත්‍යන්තර රෝගීන් සුරක්ෂිතතා දින සැමරුම් උත්සවය සඳහා ගරු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලාංකික නියෝජිත වෛද්‍ය රාෂියා පෙන්සේ මහත්මිය, සෞඛ්‍ය ලේකම්  වෛද්‍ය සංජීව මුණසිංහ මහතා, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එස්.ශ්‍රීධරන් මහතා සහ සෞඛ්‍ය තත්ත්ව ගුණාත්මක හා ආරක්ෂණ අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් ධර්මරත්න මහතා ඇතළු සෞඛ්‍ය බලධාරීන් පිරිසක් සහභාගි වූහ.

RSL

Related Posts