ගොයම් කැපෙන විට වී අලෙවි මණ්ඩලයේ මකර කටට භාණ්ඩාගාරය විසි කිරීම

Spread the love

වී අලෙවි මණ්ඩලයට පණ දෙන්නට කියා වී අස්වැන්න මිල දී ගැනීමට භාණ්ඩාගාරයේ මුදල් යෙදවීමට රජය කටයුතු කරන්නේ නම්, එය 2025 වසරේ සිදු කරන දැවැන්තම භාණ්ඩාගාර මුදල් විනාශය බවට පත් නොවිය යුතුය. මේ තීරණයට සාමූහිකව ද, වෙන් වෙන් වශයෙන් ද සම්බන්ධ වන සියළු තරාතිරම් හි පුද්ගලයින් රාජ්‍යයට සිදු විය හැකි අනිවාර්ය වූ මූල්‍ය පාඩුවට වගකීම් දැරිය යුතු වනු ඇත.

ඉලක්කම්, වචන වලට වඩා පැහැදිලිව කතා කරන්නේය.  2012 සිට 2023 දක්වා එක වසරක දී හැර, සෑම වසරකට වී අලෙවි මණ්ඩලය රු. කෝටි 100 කට ආසන්න පාඩුවක් ලබා ඇත.  2017 දී කෝටි 589 ක් ද, 2012 දී කෝටි 196  ක් පාඩු ලබා ඇත.  වී අලෙවි මණ්ඩලය සිය ස්ථාපිත වගකීම වන ‘වී මිලදී ගැනීම  සිදු කළ’ සෑම මොහොතකම ‘පාඩු ලබා ඇති අතර, මෙහෙයුම් වැඩි කළ සෑම විටම පාඩුව උපරිමයට ගොස් ඇත.

වී අලෙවි මණ්ඩලය අද වන විට අවම වශයෙන් රු. බිලියනයක් හෝ එයට වැඩි ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරයට ණය වී ඇත. වී මිලදී ගැනීමට මණ්ඩලයට ලබාදුන් මුදල්/ණය සඳහා (වත්මන් 11% ක පොලීය ද සමඟ) මහාභාණ්ඩාගාරය දරා ඇති අස්තමේන්තුගත වියදම (accumulated sum) රු. බිලියන 20 කි.  ලංකා හා මහජන (රාජ්‍ය බැංකු) දෙකට ද, යම් ණය මුදලක් ඇති අතර ඒවායේ පොලිය ද භාණ්ඩාගාරයෙන් ගෙවා ඇත.

මෑතක දී පනවනු ලැබූ නව මුල්‍ය නීති අනුව, භාණ්ඩාගාරයට තවදුරටත් මණ්ඩලය අසීමාන්තිකව ණය ලබාදිය නොහැකිය. විධිමත් විගණනයක් සිදු කළ නොහැකි, අඛණ්ඩව පාඩු ලබන, ආයතනයකට කිසිදු බැංකුවක් වාණිජ්‍ය ණය ලබා දෙන්නේ නැත. රාජ්‍ය බැංකු නිලධාරීන්ට ද, රජයේ සැරැකුමක් නැතිව එවැනි ණය අවදානමක් ගත නොහැකිය.

වී අලෙවි මණ්ඩලය මගින් නැවත වි මිලදී ගෙන, නියමිත තත්ව පාලනයක් නොමැති තැනක ගබඩා කර හාල් මිල ඉහළ යන විට, වෙළඳපොළ මිලට අඩුවෙන් මෝල් හිමියන්ට වී අලෙවි කිරීම නැවත නැවතත් ‘අත්හදා බලා, අසමත් වී ඇති’ ව්‍යාපෘතියකි.

වී අලෙවි මණ්ඩලය සතුව ගබඩා 210 ක් ඇති නමුත් එයින් බහුතරය වල් වැදී දිරාපත් වී ඇති මීයන් හා වෙනත් සතුන්ගේ රජදහන් ය. රාජ්‍ය හා සමූපකාර ආයතන සතු මුළු ගබඩා සංඛ්‍යාව 380 කි. වී අලෙවි මණ්ඩලය පිළිබඳ විගණන වාර්තාවන්ට අනුව 2008 සිට 2018 දක්වා (2011 හැර) මෙහෙයුම් අලාභයක් ලබා ඇති බව විගණන වාර්තා දක්වයි.   2010 සිට 2016 දක්වා මණ්ඩලය ගැන විගණන මතය ‘ව්‍යාචනයයි’.  ගබඩා දත්ත, පොතේ ඉලක්කම් හා ගැලපෙන්නේ නැත. සැබෑ තොගය, විනාශ වී ඇති ප්‍රමාණය ගණන් බැලීමේ ක්‍රමයක් නැත. (වී කිලෝ 50 බැගින් පැවතිය යුතු මල්ලක සැබවින්ම පවතින්නේ කිලෝ 45 කට අඩු ප්‍රමාණයකි.) සරළවම වත්මන් වී අලෙවි බණ්ඩලයේ පරිපාලන යාන්ත්‍රණය තුල කිසිදු විද්‍යාත්මක කලමනාකරණ ක්‍රමවේදයක් නැත. එවැනි ස්ථානයකට දැවැන්ත මුදල් ප්‍රමාණයක් ආයෝජනය කිරීම ‘ගඟට ඉනි කැපීමකි’. 

ශ්‍රී ලංකා රාජ්‍යය ‘වී අලෙවි මණ්ඩලයට පණ දී වී ගොවියා හා පාරිභෝගිකයා බේරා ගැනීම’ නම් අසාර්ථක ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කරන බව තැන තැන කියයි.

වී අලෙවි මණ්ඩලය පාඩු ලබන්නේ ඇයි?  

1.       වී ගොවියාට සිය නිෂ්පාදන මිලට වඩා වැඩි වී මිලක් ලබාදීමට රජයට සෑම වසරකට පෙබරවාරි සිට අප්‍රේල් දක්වා දැඩි පීඩනයක් එල්ල වේ.  වී මිලදී ගැනීම සඳහා රජයට එල්ලවන පීඩනය නිසා භාණ්ඩාගාරයේ මුදල් වැය කර මණ්ඩලය වී මිලදී ගනී. එම වී තෙත සහිතය. (යන්ත්‍රයෙන් කපා, බෑග් එකට පටවයි) බොහෝ විට මණ්ඩලයට වී වේළීම සඳහා ප්‍රමිතියක් සහිත වේළන උපකරණ  (ඩ්‍රයර්) නැත.  තිබෙන පැරණි ඩ්‍රයර් කිහිපය මගින් විශාල වී තොගයක් වේළිය නොහැකිය.  මණ්ඩලය සහිත උෂ්නත්වය හා තෙනමනය පාලිත තත්වය යටතේ පවත්වා ගැනීමට වී බොයිලේරු (සුදු යඩක/අලුමීනියම්) ගුදම් නැත. වී ගබඩා වන්නේ ගෝනි, බෑග් වලය. මේවා මීයන් පිපියන්, කෘමින්ට පහසුවෙන් නිරාවරණය වේ. 

2.       තත්වයෙන් උසස් සහල් නිෂ්පාදනය සඳහා අවම වශයෙන් මාස 4 ක් උෂ්ණත්වය හා තෙතමනය (පාලිත තත්වය යටතේ) වී පරණ විය යුතුය. හාල් මිල ඉහළ යන්නේ සැප්තෑම්බර් සිට ජනවාරි දක්වා කාලයේ ය.

3.       ප්‍රමිතියක් නැති වී ගබඩාවක මාස 3 ක් ගත වන විට වී පුස් කා, විනාශවීම ඇරඹෙන්නේය.  එවිට වී අලෙවි මණ්ඩලය කළේ සිය වී තොග, සත්ව ආහාර/මධ්‍යසාර නිෂ්පාදනය සඳහා අඩු මිලට විකුණා දැමීම ය.

4.       වී අලෙවි මණ්ඩලයේ අද පවතින සයිලෝ බහුතරයක් ඇමරිකාව විසින් ලෝක ආහාර සංවිධානයේ ආධාර මත ඉදිකළ, එක ඇමරිකාවේ තිරිඟු ගබඩා කිරීමට යොදාගන්නා තාක්ෂණය සහිත ඉදිකිරීම් ය.  මේවා වී පිරවූ විට පහතට තට්ටුවට යෙදෙන පීඩණය හේතුවෙන් වී වල ප්‍රමිතිය පවතින්නේ නැත. මේ නිසාම හදපු සයිලෝ බහුතරයක් ක්‍රියාත්මක වූවේ නැත. අනෙක් පැත්තෙන් ‘සයිලෝ රැසක අත්‍යවශ්‍ය අමතර උපාංග (මෝටර්) ආදිය ගලවාගෙන ගොස් ඇත. 

5.       මෙම චිෂම චක්‍රය වසර 25 ක් නැවත නැවත සිදුව ඇති බව වී අලෙවි මණ්ඩලයේ කටයුතු පිළිබඳ යම් අවබෝධයක් ඇති සහ වී මෝලක මිලදී ගැනීමේ සිට සහල් නිෂ්පාදනය කර අලෙවිය දක්වා පියවර සියල්ල දන්නා අයට රහසක් නොවේ.

පුද්ගලික අංශය සතුව වී ප්‍රමිතියක් සහිතව ගබඩා කිරීමට ස්ථාන ඇත. එවැනි ගබඩාවක් ඉදි කිරීම සඳහා ඩොලර් මිලියන 500 ක් පමණ අවශ්‍ය වන්නේය. එහි සියළු කටයුතු ස්වයංක්‍රීය ලෙස පාලනය වන අතර වී මෝල, සහල් ගබඩා කිරීම හා පැකට් කිරීම හා ලොරිවලට පැටවීම ඇතුළු සියළු ක්‍රියාකාරකම් පූර්ණ යන්‍ත්‍රාණුසාරයෙන් සිදු කෙරේ.

වී සහල් බවට පත් කිරීම යනු වී මිලදී ගෙන ගොඩ ගසා ගැනීම නොවේ. එය ප්‍රමිතියක් සහිතව ගල් වැලි ඉවත් කර, වේළා සුද්ධ කර, අති නවීන ඇඹරුම් යන්ත්‍ර මගින් සහල් බවට පත් කර එම සහල් දුවන බෙල්ට් එකක් (කන්වයර් බෙල්ට්) මගින් සහල් ලොරියට පැටවීම දක්වා වන ක්‍රියාවලියකි.  මෙයට විශේෂඥ ශ්‍රම බලකායක් අවශ්‍ය වන අතර එවැනි එක් වෘත්තීකයෙකු ගේ මාසික වැටුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලැබෙන සොච්චම් වැටුපට වඩා වැඩිය. මණ්ඩලයට එවැනි වෘත්තීයභාවයක් නොමැත.

දේශපාලනඥයින්ගේ බලපෑම හේතුවෙන් වී අලෙවි මණ්ඩලයට බොහෝ විට සිදුවන්නේ, වෙළඳපෛාලේ පවතින මිලට වඩා වැඩි මිලකට වි මිල දි ගැනීමටය. සහල් මිල ඉහළ යද්දී, වෙළඳපොල මිලට වඩා අඩුවෙන් වී අලෙවි කිරීමටය. එමගින් සිදුවන්නේ ශුද්ධ පාඩුවකි. 

උදාහරණයක් ලෙස වී මිල රු. 100 දක්වා පහත වැටෙන විට මණ්ඩලය 110 ට වී මිල දී ගනී.  වෙළදපොලේ වී මිල රු. 150 වන විට මණ්ඩලය රු. 140 ට තම තොගය අලෙවි කරයි.  පුද්ගලික අංශය අඩු මෙහෙයුම් වියදම දරාගෙන රු. 50 ක් වැඩි මිලට විකුණන විට,  මණ්ඩලය වැඩි මෙහෙයුම් වියදමක් දරා රු. 30 ක් උපයා ගනී.  ඒ වන විට වී සත්ව ආහාර බවට පත්වීමට ඇති ඉඩ වැඩිය. බඩු අඩුවෙලාය. නැතිනම් සත්තු කොටසක් ආහාරයට ගෙන ය. මේ පාඩුව රජය, රටේ මිනිසුන්ගේ බදු මුදල්වලින් පියවා ගැනීම සිදුවේ. 

ආණ්ඩුවට රු. 25,000 ක පොහොර දීමනාව 131,000කට තවමත් ගෙවා ගැනීමට හැකියාව ලැබී නැත.  ගංවතුර තත්වය හේතුවෙන් සිදු වූ විනාශය ගැන නිශ්චිත අදහසක් නැතත්, වගා බිම්වලින් 25%ක් හෝ අයහපත් කාලගුණයට අසුවී ඇත.  මෙවරට රටට ලැබෙන්නේ පොහොර අඩුවෙන් යෙදූ, ගංවතුරේ බලපෑමට හසුවූ වී අස්වැන්නකි.

මෙයට වසර 10 කට පෙර වී කිලෝ 1.6 කින්  සහල් කිලෝවක් නිෂ්පාදනය විය.  ඒ 14% ක කාටුව, බොල් වී, ගල් වැනි අපද්‍රව්‍ය පවතින්නේ නම් හා නියමිත ලෙස වියළන ලද වී වලිනි. අද බූතයා, සුනාමි ආදී යන්ත්‍රවලින් කෙලින්ම වී බෑගයට පැකට් වන වී කිලෝ දෙකකින් ලැබෙන්නේ එක් සහල් කිලෝවකි. (අපද්‍රව්‍ය 14%ට වැඩිය) පුද්ගලික අංශය කුඹුරටම ගොස් මේ වී මිලදී ගනී. මණ්ඩලයට වී අලෙවි කරන්නට ගොවීන් ඒවා වේළා, ගබඩාව වෙත තම වියදමෙන් ප්‍රවාහනය කළ යුතුය. වී කිරා අවසන්වන තුරු වාහනයේ මුර කළ යුතුය.  

1999 ජූනි මස කෘෂිකර්ම ඇමැති දි.මු. ජයරත්න ගේ යෝජනාවකින් වී අලෙවි මණ්ඩලය වසා දැමීමට තීරණය කර, ගබඩා විකුණා දැමීම හෝ බදුදීම ඇරබිණි.  2001 අප්‍රියෙල් 05 වී අලෙවි මණ්ඩලය ඈවර කිරීමේ පනත කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ නමුත්, සේවක විරෝධය නිසා එය වැලකුණි. ගබඩාවල තිබූ අත්‍යවශ්‍ය අමතර උපාංග රැසක් ගලවා ඉවත් කරනු ලැබීය.මණ්ඩලය වෙනුවට 2006 දී ‘කෘෂි නිෂ්පාදන අලෙවි අධිකාරිය’ පිහිටවනු ලැබීය. මේ සමයේ ද, අති විශාල මුදල් ප්‍රමාණයක් භාණ්ඩාගාරයෙන් ද, රජයේ බැංකුවලින් ද ලබා දෙනු ලැබීය.  ඒ වා මේ දක්වා පියවා නැත. ලංකාවේ නැත්තේ, ස්ථිර හා තිරසාර ප්‍රතිපත්තියකි. තිබුණු ගබඩා ටික විකුණා දමා, අලුතෙන් ගබඩා හදනු ලැබීය. දැන් ඉතිරිව ඇත්තේ ඒ ගබඩාය! කාලයෙන් කාලයට වැඩි මිලට මිලදී ගත් වී, අර්ධ වශයෙන් විනාශ වූ පසුව, අඩු මිලට සත්ව ආහාර ලෙස විකිණීම ව්‍යවහාරයක් බවට පත් විය. 2015 දී මත්තල ගුවන්තොටුපල පරිශ්‍රයේ වී ගබඩා කරනු ලැබූවේ එවකට තිබු ගබඩාවලට වඩා වී ගබඩාවට එම ස්ථානය සුදුසු වූ නිසාය!

අනෙක් අතට ගෙවුණු වසර 15 පුරාම මණ්ඩලයේ ඉහළ සිට පහලට අන්ත දුෂිත ගණුදෙනු පිරුණු ‘මී ගුහාවකි’.

වව්නියා, කිලිනොච්චි ගබඩා ඇති නමුත් වී නැත. අනුරාධපුර, පුත්තලම මායිමේ වී ඔයාමඩුවට ප්‍රවාහනය කළ යුතුය.  පොළොන්නරුව මහවැලි කලාපයේ ද ගබඩා ඇත. මින්නේරියේ හොඳ තත්වයේ වී මෝලක් ඇති නමුත්, පරිසර හානිය නිසා ක්‍රියාත්මකවීම වලක්වන අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුණි. එය තවමත් පවතින්නේ යැයි අනුමාන කරමි. හම්බන්තොට පන්නගමුව මෝල 2017 න් පසුව ක්‍රියාත්මක වී නැත. එහි කොටස් කැඩී ඇත. ඇඹරුම් කිරීමට ප්‍රමාණවත් වී ද ප්‍රදේශයේ නැත.

තව සති දෙකකින් නැගෙනහිර ගොයම් කැපීම, ‘මහසෙන්’ සුදු ගොයම් අස්වනු නෙලීමෙන් ආරම්භ වේ.   අද පවතින සහල් හිඟය ඒ සමඟ පහව යන්නේය. පුද්ගලික අංශය අලුත් වී ලබා ගැනීමට, සිය ගබඩා හිස් කිරීම අරඹා ඇත. පෙබරවාරි සිට අප්‍රේල් දක්වා වී/සහල් මිල අඛණ්ඩව පහත වැටේ. මැයි – අගෝස්තු දක්වා කුඩා වැඩිවීමක් සහිතව ස්ථාවර වේ. නැවත මිල ඉහළ යාමක් අපේක්ෂා කළ හැක්කේ සැප්තෑම්බර් මස ය. නමුත්, මෙවර අස්වැන්න ගැන පූර්වකථනයක් ලබාදීම අතිශයින්ම දුෂ්කරය.

වී/සහල් අර්බුදයට විසඳුම අති දැවැන්ත බදු මුදල් ආයෝජනයක් සහිතව වී අලෙවි මණ්ඩලය නැවත ස්ථාපනය කිරීම නොවන්නේ එය මේ වන විට ප්‍රාග්ධනය, තාක්ෂණය, මානව හා භෞතික සම්පත් නොමැති අකර්මන්‍ය ආයතනයක් නිසාය. පුද්ගලික අංශයට අතිශයින්ම පහසු හා සරළ ව්‍යපාරයක් වන සහල් කර්මාන්තය රාජ්‍ය අංශයට අතිශයින් සංකීර්ණ හා දුෂණයට ඉඩ සලසන ව්‍යවහාරයකි. 

රාජ්‍යය ව්‍යාපාර කර පාඩු ලබනවාට වඩා, ගොවිතැනට පහසුකම් සැලසීම හා සාධාරණ තරඟයකට මාවත විවර කිරීම යුගයේ අවශ්‍යතාවයකි.

රජිත් කීර්ති තෙන්නකෝන් – හිටපු ආණ්ඩුකාරවර සහ ආහාර ප්‍රතිපත්ති කමිටු සාමාජික

Related Posts