ගං වතුර පාලනය සඳහා තිරසර විසඳුමක අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි

Spread the love
  • අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් කොළඹ, ගම්පහ, පුත්තලම හා කළුතර ජනතාවට කඩිනමින් සහන සැපයීම ප්‍රමුඛ කාර්යය කර ගන්න
  • සහන ලබා දීම සඳහා අතිරේකව වෙන් කරන ලද රුපියල් මිලියන 50ට අමතරව මුදල් අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කරන්න

මෙම වසරේදී ගංවතුර තත්ත්වය අවස්ථා දෙකකදී ඇති වූ බවත් ඒ අනුව නිරන්තරයෙන් ඇතිවන ගං වතුර පාලනය සඳහා නිශ්චිත හා තිරසර වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ , ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී අද (14) පැවති සාකච්ඡාවේදීය.

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් කොළඹ, ගම්පහ, පුත්තලම හා කළුතර ජනතාවට කඩිනමින් සහන සැපයීම ප්‍රමුඛ කාර්යය කර ගන්නා ලෙසත් , ඉන් පසුව දේපළ හානි පූර්ණය සඳහා කටයුතු කරන ලෙසත්, ජනාධිපතිවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබා දීම සඳහා මේ වන විටත් අතිරේකව වෙන් කරන ලද රුපියල් මිලියන 50ට අමතරව තවත් මුදල් අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කරන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට දන්වා සිටියේය.

මෙම වසරේදී මීට පෙර ඇති වූ ගංවතුර තත්ත්වයේදී දේපළ හානි පූර්ණ නොවූ ජනතාවගේ ගැටලු පිළිබඳවද සොයා බලා ඊට අදාළ වන්දි ලබාදීම් සිදු කරන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

Related Posts