කොළඹ නගරයේ ජීවත් වන ලක්ෂ 6න් 30,000ක් කොරෝනා ආසාදිතයින්

Spread the love

කොළඹ නගරයේ ජීවත් වන 600,000ක් පමණ වන ජනගහණයෙන් 5%ක් කොවිඩ්-19 ආසාදිතයින් යැයි සැක කළ හැකි බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරීන් රුවන් විජේමුණි මහතා හෙළිකළ බව අද (12) ලංකාදීප ඊ පුවත්පතේ වාර්තාවක සදහන් වෙයි.

ඒ අනුව කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 30,000කට අධික පිරිසක් කොළඹ නගරයේ සිටිය හැකි බවයි විජේමුණි මහතා සදහන් කර ඇත්තේ.

එහෙත් මෙම සංඛ්‍යාව පිළිබද උපකල්පනය සිදුව ඇත්තේ කොළඹ නගරයේ අහඹු ලෙස තෝරාගත් 300 ‍දෙනෙකුගේ සිදුකල පීසීආර් පරික්ෂාවක දී බවත් එයින් 5%ක් ආසාදිතයන් වී තිබු බවත් ඒ අනුව කොළඹ නගරයේ වෙසෙ‍න ලක්ෂ 6ක ජනතාවගෙන් 5%ක් ආසාදිතයන් යැයි සැක කරන බවත් වෛද්‍ය විජේමුණි මහතා ලංකාදීප කළ විමසුමකදී සදහන් කර තිබෙනවා.

එම වාර්තාවේ වැඩි දුරටත් මෙසේ ද සදහන් වෙනවා.
         
ආසාදිතයන් අතරින් 80%ක් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන නමුත් ඔවුන් රෝග වාහකයන් වනබවත් කී ඔහු රෝග ලක්ෂණ පෙන්වන්නේ ආසාදිතයන් අතරින් 5%ක් පමණක් බවත් සඳහන් කළේය.

මෙකී රෝග ලක්ෂණ පෙන්වන පිරිස අතරින් අසාධ්‍ය තත්ත්වයට පත්ව මිය යන්නේ 0.4%ක් පමණක් බව පෙන්වා දුන් විජේමුණි මහතා මේ තත්ත්වය යටතේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා රෝගය ඕනැම අයෙකුගේ සිරුරේ තිබිය හැකි බැවින් කොළඹ නගරයේ ගැවසෙන ජනතාව විශේෂයෙන් ආරක්ෂා විය යුතු බවත් හෙතෙම කියා සිටියේය.
         
මේ වනවිට හමුවන රෝගීන් පිළිබඳ පවතින තත්ත්වය සාගරයේ පවතින අයිස් කන්දක මුදුනත වැනි යැයි ද එහි පෙනෙන ප්‍රමාණය මෙන් අති විශාල ප්‍රමාණයක් නෙ‍ාපෙනෙන බව අමතක කළ යුතු නැතැයි ද වෛද්‍ය විජේමුණි සඳහන් කළේය.

RSL

Related Posts